General06 May 2026

කුඩාවැල්ලේ අහසට වෙඩි තැබූ 72 හැවිරිදි පුද්ගලයා රිවෝල්වරයක් සමඟ STF දැලේ

තංගල්ල, කුඩාවැල්ල ධීවර වරාය පරිශ්‍රයේදී විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියකින් අහසට වෙඩි තබා පුද්ගලයින් බියගැන්වූ බව කියන 72 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

විශේෂ කාර්ය බලකායේ තංගල්ල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව, ඊයේ (05) දින කුඩාවැල්ල ධීවර වරාය තුළ මෙම වැටලීම සිදුකර තිබුණා.

සැකකරු ඊයේ (05) රිවෝල්වර වර්ගයේ ගිනි අවියකින් අහසට වෙඩි තබමින් මහජනතාව බියගන්වා සිට ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, ඊට භාවිතා කරන පතොරම් කිහිපයක් තිබී ඇතැයි ද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ නාකුළුගමුව, පහජ්ජාව ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු කුමන හේතුවක් මත මෙලෙස වෙඩි තැබීම සිදු කළේ ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු සහ ගිනි අවිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා තංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇතැයි ද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.
Related recommendation
Hiru TV News | Programmes