International05 June 2026

යුද්ධය නිමා කරන්න සෙලෙන්ස්කිගෙන් පුටින්ට ලිපියක්

යුක්‍රේන - රුසියා යුද්ධය අවසන් කිරීමේ නවතම පියවරක් ලෙස යුක්‍රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

රුසියාව ද එම ලිපිය ලැබුණු බව තහවුරු කර ඇති අතර, ඒ පිළිබඳ ජනාධිපති පුටින් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබුණා.

අදාළ ලිපිය මඟින් යුක්‍රේන ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, යුරෝපයේ පවතින මෙම යුද්ධය දෙස අමෙරිකාවේ අවධානය යොමුවන තෙක් බලා සිටීම නිශ්ඵල ක්‍රියාවක් බවයි .

සාමය උදාකර ගත හැක්කේ යුක්‍රේනය සහ රුසියාව අතර සෘජු මැදිහත්වීමකින් පමණක් බව පවසන සෙලෙන්ස්කි, ඒ සඳහා ජනාධිපති පුටින්ගෙන් මුහුණට මුහුණ සාකච්ඡාවක් ඉල්ලා සිටිනවා.

මෙම සාකච්ඡා ස්විට්සර්ලන්තය හෝ තුර්කිය වැනි මධ්‍යස්ථ රටක පැවැත්විය හැකි බවට ද ඔහු යෝජනා කර තිබෙනවා.

කෙසේ වෙතත් මීට පෙර යෝජිත සාකච්ඡා කාලසීමාවන් සඳහා පූර්ණ සටන් විරාමයක් ඉල්ලා සිටි අවස්ථාවලදී රුසියාව එය ප්‍රතික්ෂේප කර තිබුණා.

මේ අතර මෙම නායකයන් දෙදෙනා සාකච්ඡා සඳහා මුණගැසෙන්නේ නම් එය 'ඉතා හොඳ' පියවරක් වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඊයේ ප්‍රකාශ කරනු ලැබුවා.


Related recommendation
Hiru TV News | Programmes