General06 June 2026

සලේට පහරදුන්නේ නෑ! - පොලිස් මාධ්‍ය කොට්ඨාසය කරුණු පැහැදිලි කරයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රඳවා තබාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේට බන්ධනාගාරය තුළදී අමානුෂික ලෙස සලකන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර බව ශ්‍රී ලංකා පොලිසිය නිල නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් අද (06) නිකුත් කරන ලද විශේෂ නිවේදනයක දැක්වෙන්නේ, උදය ගම්මන්පිල විසින් මාධ්‍ය ඔස්සේ සිදුකර ඇති ප්‍රකාශයන්හි සඳහන් වන ආකාරයට මෙම සැකකරුට කිසිදු පහරදීමක් හෝ අමානුෂික සැලකීමක් ශ්‍රී ලංකා පොලිසිය මඟින් සිදුකර නොමැති බවයි.

සාමාන්‍ය සැකකරුවෙකු සම්බන්ධයෙන් ක්‍රියා කරන නීත්‍යානුකූල ආකාරයටම ඔහු කෙරෙහි ද කටයුතු කර ඇති අතර, ඔහුට කිසිදු විශේෂ සැලකිල්ලක් හෝ නොසලකා හැරීමක් සිදුකර නොමැති බව ද පොලිසිය පෙන්වා දෙනවා.

මෙම කරුණු දැනට ගරු අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බැවින්, අධිකරණයට පරිබාහිරව මෙවැනි අසත්‍ය ප්‍රකාශ මාධ්‍ය වෙත නිකුත් කිරීමෙන් වැළකී සිටිය යුතු බවත්, එවැනි සංවේදී කරුණු ඉදිරිපත් කිරීමේදී වඩාත් සංයමයෙන් කටයුතු කිරීම වැදගත් වන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් මාධ්‍ය හා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes