General06 June 2026

මුන්නේෂ්වරම් වන්දනාවේ ගොස් ආපසු පැමිණි නඩයක් අනතුරක : කාන්තාවක් මරුට - 12ක් රෝහලේ

හලාවත මුන්නේෂ්වරම් දේවාලයේ වන්දනා කටයුතු නිමා කර ආපසු යමින් සිටි පිරිසක් රැගත් කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් අනතුරට පත්වීමෙන් කාන්තාවක මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව ආණමඩුව පොලිසිය පවසනවා.

අනතුර අද (06) දහවල් 1.00 ට පමණ ආණමඩුව, මුදලක්කුලිය ප්‍රදේශයේදී සිදුවී ඇති අතර, මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොලොන්නරුව, අරලගංවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි කාන්තාවක්.

පොලිසිය සඳහන් කළේ පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන්දනා චාරිකාවක් සඳහා කුඩා ලොරි රථයකින් පැමිණ ඇති අතර, ඔවුන් නැවත ගම්බිම් බලා යමින් සිටියදී ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටී ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේදී ලොරි රථයේ ගමන් කළ 13 දෙනාම තුවාල ලබා ඇති අතර, ඔවුන් වහාම ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර, එහිදී, රෝහල් ගත කිරීමෙන් අනතුරුව මෙම කාන්තාව මියගොස් තිබෙනවා.

එමෙන්ම, තුවාල ලැබූවන් අතරින් බරපතල තත්ත්වයේ පසුවූ දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහල වෙත මාරුකර යවා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

තවද, ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවට පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes