International07 June 2026

ඉන්දියාවේ කැරපොතු ජනතා පක්ෂය දැවැන්ත විරෝධතාවයක: තරුණ පරපුර දහස් ගණනින් වීදි බසී!

ඉන්දියාවේ පාලක රජයේ දූෂණ, වංචා සහ පරිපාලන අක්‍රමිකතාවලට එරෙහිව එරට නැගී එන GenZ තරුණ දේශපාලන ව්‍යාපාරයක් වන කැරපොතු ජනතා පක්ෂය විසින් සංවිධානය කළ දැවැන්ත මහජන විරෝධතාවයක් හේතුවෙන් නවදිල්ලි අගනුවර ඇතුළු ප්‍රධාන නගර රැසක දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

රජයේ දූෂිත දේශපාලනඥයින් සහ නිලධාරීන් සමාජය කා දමන 'කැරපොත්තන්' ට සමාන කරමින්, මෙහිදී කුපිත වූ තරුණයින් දහස් ගණනක් සජීවී කැරපොත්තන් පිරවූ වීදුරු බෝතල් සහ පෙට්ටි දෑතින් රැගෙන වීදි බැස විරෝධතාවල නිරත වීම විශේෂත්වයක්.

පවතින දැඩි රැකියා හිඟය, උද්ධමනය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට වත්මන් රජය නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් තරුණ පරපුර තුළ හටගෙන ඇති දැඩි කලකිරීම සහ ක්‍රෝධය මෙම නවතම විරෝධතා රැල්ල හරහා පුපුරා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විරෝධතාකරුවන් රාජ්‍ය ආයතන සහ පරිපාලන ගොඩනැගිලි දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමඟ පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඔවුන්ව විසුරුවා හැරීමට පියවර ගෙන ඇති අතර, එහිදී ඇති වූ මුහුණුවර හමුවේ තරුණයින් රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කැරපොතු විරෝධතාව ඉදිරි දිනවලදී රට පුරා තවදුරටත් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව ජනතා පක්ෂයේ තරුණ පෙරමුණේ නායකයින් ප්‍රකාශ කර සිටින අතර, මෙය වත්මන් ඉන්දීය දේශපාලන ස්ථාවරත්වයට එල්ල වූ ප්‍රබල අභියෝගයක් වනු ඇති බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes