General07 June 2026

සලේගේ අන්තිම කැමති පත්‍රය සැකසීමට හමුවීමට අවස්ථාව ඉල්ලා නීතිඥවරයාගෙන් ශානිට ලිපියක් : කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහාත් ඉල්ලීමක්

හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ⁣⁣ජෙනරාල් සුරේෂ් සලේ තම අන්තිම කැමති පත්‍රය සහ ඊට අදාල නිතිමය ලේඛණ සකස් කිරීම සඳහා සිය නීතිඥවරයා වන තමාව හමුවීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා ඇති බව ඔහුගේ නීති උපදේශක අසිත් සිරිවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබෙනවා.


මේ වන විට මාරාන්තික උපවාසයක් අරඹා ඇති බව සුරේෂ් සලේ මහතා තම පවුලේ අයට දැනුම් දී ඇත්තේ ඖෂධ, සේලයින්, ආහාර සහ ජලය ප්‍රතික්ෂේප කළ බවයි.

තවද සුරේෂ් සලේ මහතාගේ මරණය ආසන්න යැයි ඔහු විශ්වාස කර ඇති බැවින් ඔහුගේ ඇස් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා අඅති බවද නීතිඥවරයා විසින් ගොනුකරන ලද එම ලිපියේ දක්වා තිබුණා.


අදාල ලිපියේ නීතිඥවරයා සඳහන් කර ඇත්තේ සුරේෂ් සලේ මහතා ශාරිරික සහ මානසික තත්ත්වය බරපතල ලෙස පිරිහී ඇති බැවින් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා රෝහලකට ඇතුළත් කිරීම අවශ්‍ය වන බවය.

සුරේෂ් සලේ මහතාට සුදුසුකම් ලත් ස්වාධීන වෛද්‍ය වෘත්තිකයින් විසින් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බවත් සම්පූර්ණ පරීක්ෂාවක් සහ ප්‍රතිකාර ලබා දිය හැකි සුදුසු රෝහලකට හදිසි මාරුවක් අවශ්‍ය බවද නීතිඥවරයා අදාල ලිපිය ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත දන්වා තිබෙනවා.

සුරේෂ් සලේ මහතාගේ මෙම ප්‍රකාශ සහ තත්ත්වයන් ඔහුගේ ශාරීරික හා මානසික තත්ත්වය බරපතළ ලෙස පිරීහි ඇති බව පැහැදිළිව පෙන්වන බවත් ඔහුගේ යහපැවැත්ම, සෞඛ්‍ය සහ ජීවිතය සම්බන්ධයෙන් තාර්කික තීරණ ගැනීමට ඔහුට තවදුරටත් හැකියාවක් නොමැති බව පෙන්වා දෙන නීතිඥවරයා දැනට ඔහු රඳවා තබා ගෙන සිටින තත්ත්වයන් අවම වශයෙන් හෝ ඔහුගේ ජිවිතයට බරපතළ සහ ක්ෂණික අවධානමක් නිර්මාණය කරන බවද පෙන්වා දී තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රධාන කරුණු කිහිපයක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ඉල්ලීමක් යවමින් නීතිඥවරයා සඳහන් කර ඇත්තේ මෙම කරුණු පිළිබඳව සලකා බලා තවදුරටත් ක්‍රියාමාර්ග නොගන්නේ නම් සිය සේවාදාකයාට සිදුවන හානි සම්බන්ධයෙන් අනාගතයේදී ගොනු කළ හැකි අධිකරණ, අපරාධ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය හෝ ජාත්‍යන්තර නඩු කටයුතුවලදී පදනමක් ලෙස භාවිත කරන බවත් අදාළ ලිපිය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දන්වා තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes