General07 June 2026

"දේශපාලන බලය තාවකාලිකයි; මහජන විශ්වාසය එසේ නොවේ" - ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නැයි අලි සබ්‍රිගෙන් සටහනක්

හිටපු විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් අවධාරණය කරන්නේ දේශපාලන බලය යන්න තාවකාලික වුවද, රාජ්‍ය ආයතන කෙරෙහි පවතින මහජන විශ්වාසය එසේ නොවන බවයි.

තමන්ගේ පුද්ගලික නිරීක්ෂණයට අනුව, අතීතයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම සහ එවකට අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, දෝෂාභියෝගයකින් ධූරයෙන් ඉවත් කිරීම වැනි සිදුවීම්වලින් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය ද ක්‍රමයෙන් පිරිහීමට ලක්වූ බව ඔහු පෙන්වා දෙනවා.

ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් දැක්වූ පුද්ගලයින්ට ගොතන ලද චෝදනා (Concocted charges) මත පදනම්ව අමානුෂික ලෙස සැලකීම සහ අධිකරණයේ ස්වාධීනත්වයට හානි කිරීම දිගුකාලීන බරපතල ප්‍රතිවිපාක ගෙන දෙන මහා පාපයක් බව ද හිටපු අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඉතිහාසය විසින් ඕනෑම සමාජයකට වටිනා පාඩම් කියා දෙන බවත්, බුද්ධිමත් ජාතීන් එම පාඩම් මනාව ඉගෙන ගත යුතු බවත් අලි සබ්‍රි වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

"පොලිසිය මහජනතාව නොමඟ යවනවා"

එසේම ​හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා තබා ගැනීම සහ ඔහුට අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනයක් ද එල්ල කර තිබෙනවා.

එහිදී ​අලි සබ්‍රි පෙන්වා දෙන්නේ සුරේෂ් සලේ, දැනට පසුවන්නේ අධිකරණ අත්අඩංගුවේ (Judicial Custody) නොව, විධායකය සතු බලතල ප්‍රකාරව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද රැඳවුම් නියෝග මත බවයි.

මෙම සැබෑ තත්ත්වය වසන් කරමින් ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ නිකුත් කරන බවට ද ඔහු ඍජුවම චෝදනා කර සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes