General10 June 2026

හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න 11 දෙනෙක් පැහැරගත් නඩුවේ සැකකරුවකු ලෙස නම් කරයි

  • ලබන ජුලි මස 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි සැකකරුට සිතාසි - අධිකරණය
  • මෙම සිද්ධියෙන් ‍සැකකරු 2012 වර්ෂයේ දී මුදා හැරීමට නීතිපති උපදෙස් දී තිබුණා - සීඅයිඩීය

තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න එහි තුන්වන සැකකරු ලෙස නම් කරන බව ‍අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ අද (10) නම් කරනු ලැබුවා.

මෙම සිද්ධියට අදාල පළමු සැකකරු වන ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි යන අය අත්අඩංගුවට ගැනීමට බාධා කිරීම සම්බන්ධයෙන් මෙම තුන්වන සැකකරුට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙන බව ද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දැක්වුවා.

තරුණයින් 11 දෙනෙකු ඉකුත් 2008 සහ 2009 වර්ෂවලදී පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, රඳවා තබා කප්පම් ගැනීම යන චෝදනා යටතේ පවරා තිබු නඩුවෙන් හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන 2012 වර්ෂයේ දී මුදා හැරීමට නීතිපති උපදෙස් මත කටයුතු කර තිබූ බවද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

අගතියට පත් පාර්ශවය ඊට එරෙහිව ගොනු කළ පෙත්සමකට අනුවයි ඔහු සැකකරුවෙකු ලෙස නම් කිරීමට ‍අධිකරණයෙන් නියෝග කර තිබුණේ.

පැහැදිලි සාක්ෂි ඉදිරිපත්ව තිබියදීත් වින්දිත පාර්ශවයේ ඉල්ලීම බැහැර කළ නොහැකි බව එහිදී පුර්වගාමී මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබුණා.

නීතිපතිවරයාගේ උපදෙස් පිළිපැදීමට මහේස්ත්‍රාත්වරයා බැදී නොමැති බවත්, යුක්තිය ඉටු කිරීමේ දී නීතිපතිවරයාට විශාල වගකීමක් පැවරී ඇති බවවත් පුර්වගාමී විනිසුරුවරයා පෙර නඩු දිනයේදී විවෘත අධිකරණයේදී කරුණු සඳහන් කර තිබුණා.

මෙහිදී අද (10) අධිකරණයට කරුණු ඉදිරිපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, මෙහි පළමු සහ දෙවැනි සැකකරුවන්ට තිබෙන චෝදනා වෙනස් නොවන බවත් තුන්වන සැකකරු සම්බන්ධයෙන් චෝදනා වෙනස් කර ඉදිරිපත් කරන බවත්ය.

ඒ අනුව මෙම සැකකරුට එරෙහිව නව චෝදනා පත්‍රයක් සකස් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මෙම නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කරන බවයි.

ඒ අනුව, මෙම සැකකරුට අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් සිතාසියක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම සිද්ධියේ තුන්වැනි සැකකරු ලෙස නම්කර සිටි හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න යන අයට ලබන ජුලි මස 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් සිතාසි නිකුත් කළා.
Related recommendation
Hiru TV News | Programmes