General11 June 2026

තෙදින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන නිමාවෙයි: පරිශ්‍ර 97,871ක් පරීක්ෂාවට!

  • කර්මාන්තශාලා සහ ඉදිකිරීම් බිම්වලින් වැඩිම මදුරු කීටයන් හමුවේ!

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය මඟින් ක්‍රියාත්මක කළ තෙදින විශේෂ ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහනේදී පරීක්ෂාවට ලක් කළ සමස්ත පරිශ්‍ර 97,871ක් අතුරින්, පරිශ්‍ර 6,268ක (6.4%) ඩෙංගු මදුරු කීටයන් සිටින බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එසේම ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවදානම් මට්ටමේ පවතින පරිශ්‍ර 25,626ක් (26.2%) හඳුනාගෙන ඇතැයි ද ‍එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 72ක් ඉලක්ක කර ගනිමින් ඉකුත් 08 වැනිදා ආරම්භ වූ මෙම විශේෂ තෙදින වැඩසටහන ඊයේ (10) දිනයෙන් අවසන් වූ අතර, එහි සමස්ත ප්‍රගති වාර්තාව ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් අද (11) නිකුත් කරනු ලැබුවා.

එම වාර්තාවට අනුව, පරීක්ෂාවට ලක් කළ ස්ථාන අතුරින් වැඩිම ඩෙංගු මදුරු කීට ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ කර්මාන්තශාලා සහ ඉදිකිරීම් බිම් ආශ්‍රිතවයි.

පරීක්ෂා කරන ලද කර්මාන්තශාලා පරිශ්‍රවලින් 32.9%ක සහ ඉදිකිරීම් බිම්වලින් 21.8%ක ඩෙංගු මදුරු කීටයන් සිටින බව සොයාගෙන තිබෙනවා.

ඊට අමතරව, නිවාස 89,417ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් නිවාස 5,250ක මදුරු කීටයන් සිටින බව හඳුනාගෙන තිබුණා.

මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ දින කිහිපය තුළ මදුරුවන් බෝවන ලෙස පැවැති පරිශ්‍ර 21,025ක් එම අවස්ථාවේදීම පිරිසිදු කර නිවැරදි කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.

එසේම සෞඛ්‍ය උපදෙස් පැහැර හරිමින් මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන ගිය අයට එරෙහිව නීතිමය උපදෙස් ඇතුළත් රතු නිවේදන 3,348ක් නිකුත් කර ඇති අතර, පරිශ්‍ර හිමියන් 2,401 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද කටයුතු කර ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

පසුගිය තෙදින පුරා නිවාස, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ආගමික ස්ථාන, කර්මාන්ත පරිශ්‍ර, වැඩබිම්, පාසල්, වෙළඳසැල්, හිමිකරුවන් නොමැති පෞද්ගලික ඉඩම් හා ගොඩනැගිලි, රජයේ ඉඩම් හා ගොඩනැගිලි සහ හිස් ඉඩම් ඇතුළුව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් හඳුනාගත් අධි අවදානම් ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මෙම මදුරු මර්දන වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබුණා.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා මූලික සංවිධාන, ග්‍රාමීය කමිටු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ ඩෙංගු සහායකයින් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඒකාබද්ධව කණ්ඩායම් වශයෙන් ගෙයින් ගෙට ගොස් මෙම පරීක්ෂණ සිදු කර තිබුණා.

එහිදී මදුරුවන් බෝවන ස්ථාන හඳුනා ගැනීමට අමතරව, අධි අවධානම් කලාප තුළ ධූමායන කටයුතු සහ දීප ව්‍යාප්තව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක විණි.
Related recommendation
Hiru TV News | Programmes