General11 June 2026

හොරණ රාජ්‍ය බැංකු කොල්ලයට අනුබල දුන් ආරක්ෂක නිලධාරියා යළිත් රිමාන්ඩ්

හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් මුදල් පැහැරගෙන යාමේ සිද්ධියකට අනුබල දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටි එම බැංකුවේ ආරක්ෂක නිලධාරියා ලබන 23 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ අද (11) නියෝග කළා.

මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ගයාන් සුදර්ශන නමැති, අදාල රාජ්‍ය බැංකුවේම ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ පුද්ගලයෙක්.

ඔහුව බන්ධනාගාර නිලධාරීන් විසින් අද (11) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

මෙම බැංකු කොල්ලය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කළේ, සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන සිටින පළමු සැකකරු විසින් මෙම කොල්ලය සිදුවීමට පෙර අවස්ථා දෙකකදී විදේශීය මත්පැන් බෝතල් දෙකක් මෙම දෙවන සැකකරු (ආරක්ෂක නිලධාරියා) වෙත ලබා දී ඇති බවයි.

එමෙන්ම මෙම සැකකරුවන් දෙදෙනා නිතර එකිනෙකා සමඟ කතා බහ කරමින් සිට ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියා.

කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයාට එරෙහිව මෙතෙක් ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී නොමැති බවයි.

එම නිසා සාක්ෂි සම්පිණ්ඩනයක් සිදුකර ඔහුව නඩුවෙන් මුදාහැරීමට කටයුතු කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 23 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

බස්නාහිර පළාත් උතුර බුද්ධි අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes