General11 June 2026

‘සෙනෙහසේ කැදැල්ල’ ගින්නෙන් මියගිය 09කගේ සිරුරු භාර ගැනීමට තවමත් කවුරුත් නෑ: අධිකරණයේදී හෙළිවෙයි

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විවිධ ආබාධ සහිත පුද්ගලයින් රැඳී සිටි ‘සෙනෙහසේ කැදැල්ල’ රැඳවුම් මධ්‍යස්ථානයේ සිදු වූ ගින්නෙන් 14 දෙනෙකු මියගොස් ඇති අතර, ඉන් 09 දෙනකුගේම සිරුරු භාර ගැනීම සඳහා මෙතෙක් කිසිදු ඥාතියෙකු හෝ වෙනත් අයෙකු ඉදිරිපත් වී නොමැති බව අද (11) අධිකරණයේදී අනාවරණය වී තිබේ.

ඒ මෙම සිද්ධිය හොරණ ප්‍රධාන මහේස්ත්‍රත් ලක්මිණි විදානගමගේ ඉදිරියේ අද (11) කැඳවූ අවස්ථාවේදී.

මෙම සිද්ධියෙන් අනෙක් 05 දෙනාගේ ඥාතීන් මේ වන විට එම සිරුරු භාරගැනීමට ඉදිරිපත් වී සිටින බවටද අධිකරණයේදී කරුණු ඉදිරිපත් වුණා.

අනාරක්ෂිත ලෙස මෙම රැඳවුම් නිවාසය පවත්වාගෙන යාමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි, සමාජ මාධ්‍යයේ ‘ලොකු අයියා’ නමින් ගිණුමක් පවත්වාගෙන යන 38 හැවිරිදි ඉසුරු අනුෂ්ක නැමැති සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද අධිකරණයෙන් නියෝග නිකුත් වුණා.

ඊට අමතරව සැකකරුගේ පදිංචිය සනාථ කරන ලෙසත්, විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසත් නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද පියවර ගත්තාය.

මෙම රැඳවුම් මධ්‍යස්ථානය ගින්නට හසුවන අවස්ථාවේදී එහි සිටි රැඳවියන්ගෙන් 51 දෙනෙකු බේරාගෙන ඇති අතර, 14 දෙනෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව අධිකරණයේදී හෙළි වුණා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු සමාජ සේවා සංවිධාන ගණනාවක ලිපි ශීර්ෂ යටතේ මෙම ආයතනය වෙත රැඳවියන් ඇතුළත් කිරීමට ඉල්ලීම් සිදුකර තිබූ බව ද මෙහිදී අනාවරණය වූවා.

අඟුරුවාතොට පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ගින්න හටගන්නා අවස්ථාවේදී රැඳවුම් නිවාසයේ දොර ජනෙල් ඉබි යතුරු යොදා තිබූ බැවින් රැඳවියන් බේරා ගැනීමට දැඩි අපහසුතාවක් මතු වූ බවයි. එසේම සැකකරු විසින් මෙම ගින්න සම්බන්ධයෙන් පොලිසිය හෝ ගිනි නිවන ඒකකය දැනුවත් කිරීමට කටයුතු කර නොමැති අතර, ඔහු විසින් පවත්වාගෙන යනු ලබන TikTok සමාජ මාධ්‍ය ගිණුමට ගින්න වීඩියෝ කර මුදාහැරීමට කටයුතු කර ඇති බව ද පොලිසිය අනාවරණය කළා.

සැකකාර පුද්ගලයා Skype තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබූණා.

මෙම සිද්ධිය යළි ලබන ජූනි මස 25 වැනිදා අධිකරණයේ කැඳවීමට ද මහේස්ත්‍රාත්වරිය නියම කළා.

අධිකරණයේදී සැකකරු වෙනුවෙන් නීතිඥ තුෂාර ගුණරත්න සහ හර්ෂණ මාතරආරච්චි කරුණු දැක්වූවා.

අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර, පොලිස් සැරයන් (35477) ලලිත්, ජනක (41145) ගුණපාල, (55834) අනුරුද්ධ, කාන්තා පොලිස් කොස්තාපල් (8457) සඳමාලි සහ (8635) දේවිකා යන නිලධාරීන් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කළා.
Related recommendation
Hiru TV News | Programmes