General11 June 2026

"හැම බලවේගයක්ම එකතු කරගෙන ඉදිරි අභියෝගයන්ට මුහුණ දෙමු" - යළි වැඩ අරඹමින් රනිල් කියයි

හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (11) පස්වරුවේ කොළඹ මල් පාර පිහිටි දේශපාලන කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් බහුතරයකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී වර්තමාන දේශපාලන තත්ත්වයට අදාළ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිචාරය මෙන්ම පක්ෂ සංවිධාන කටයුතු යළි ගොඩනැඟීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී රැස්වීම අමතමින් අදහස් දැක්වූ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියේ ඉදිරි දේශපාලන අභියෝගවලට තනි තනිව මුහුණ දිය නොහැකි බවත්, සෑම බලවේගයක් සමඟම එකට එකතු වී පොදුවේ එම අභියෝගයන්ට මුහුණ දීමට කටයුතු කළ යුතු බවයි.

එසේම අනෙකුත් දේශපාලන පක්ෂ, බලවේග සහ සංවිධාන සමඟ ඉදිරි සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව ද කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයින් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර පක්ෂයේ විනය නීති රීතීවලට පටහැනිව ක්‍රියා කළ පළාත් පාලන ආයතන නියෝජිතයින් සම්බන්ධයෙන් පක්ෂය විසින් ගෙන ඇති පියවර පිළිබඳව එක්සත් ජාතික පක්ෂ මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ ප්‍රකාශයට පත් කර ඇත්තේ.

පක්ෂ සභාපති වජිර අබේවර්ධන සඳහන් කළේ, එක්සත් ජාතික පක්ෂ සංවිධාන යළි ගොඩනැගීම සහ අනෙකුත් දේශපාලන පක්ෂ, බලවේග හා සංවිධාන සමඟ ඒකාබද්ධ ප්‍රවේශයක් පැවැත්වීම පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගනිමින් මෙහිදී වැදගත් උපායමාර්ගික තීරණ රැසකට එළැඹි බවයි.
Related recommendation
Hiru TV News | Programmes