General14 June 2026

ලෝක දුම්කොළ විරෝධී දින ජාතික සැමරුම හෙට

දුම්කොළ භාවිතයෙන් සිදුවන සෞඛ්‍යමය හා ආර්ථිකමය හානි පිළිබඳව ලෝකවාසීන් දැනුවත් කිරීමට සහ ඉන් සිදුවන මරණ අවම කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ප්‍රකාශයට පත් කර ඇති "ලෝක දුම්කොළ විරෝධී දිනය" වෙනුවෙන් මෙරට පවත්වනු ලබන විශේෂ ජාතික සැමරුම් උත්සවය හෙට (15) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA), සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව සහයෝගීතාවයෙන් සංවිධානය කරනු ලබන මෙම විශේෂ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇතැයි ද එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

"දුම්කොළ කර්මාන්තයේ කූඨ උපක්‍රම හෙළිදරව් කරමු – දුම්කොළ සහ නිකොටින් නිෂ්පාදනයන්ට එරෙහි වෙමු" යන්න මෙවර ලෝක දුම්කොළ විරෝධී දිනයේ තේමාව වී තිබෙනවා.
මෙම ජාතික වැඩසටහන මගින් දුම්කොළ හා නිකොටින්වලට ඇබ්බැහි වීමෙන් ශ්‍රී ලාංකික තරුණ පරම්පරාව ආරක්ෂා කිරීම සහ දුම්කොළ භාවිතයෙන් තොර පරම්පරාවක් පිළිබඳ දැක්ම ප්‍රවර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම මෙරට දුම්වැටි හා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතයේ සැබෑ තතු, ඇබ්බැහිකාරී චර්යා කළමනාකරණයේ වැදගත්කම සහ මෙම නිෂ්පාදන පුද්ගල කායික හා මානසික සුවතාවයට සිදුකරන සෘජු බලපෑම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කතිකාවතකට ගැනීමට නියමිතයි.

දුම්කොළ හා නිකොටින් කර්මාන්තය සිය නිෂ්පාදන හා අලෙවිකරණ ප්‍රවේශයන් අඛණ්ඩව අලුත් කරන බැවින්, ළමුන් සහ නව යොවුන් වියේ දරුවන් ආරක්ෂා කිරීම මහජන සෞඛ්‍යයේ තීරණාත්මක ප්‍රමුඛතාවයක් බවට පත්ව ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව අනාගත පරම්පරාව මෙම හානිවලින් තොරව වර්ධනය වීම සහතික කිරීම සඳහා දැනුවත්භාවය වැඩි කිරීම, බහුපාර්ශ්වික ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම සහ පාර්ශවකරුවන් බලමුලු ගැන්වීම ද මෙම වැඩසටහනේ ප්‍රමුඛ අරමුණක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම සැමරුම් උත්සවයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව්, මහාචාර්ය දුමින්ද ගුරුගේ මහතා (ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය), මහාචාර්ය දියනාත් සමරසිංහ මහතා (ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය), ජනක කොල්ලල්පිටිය (දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික), මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා (කොළඹ විශ්වවිද්‍යාලය) විසින් මෙහිදී විශේෂ දේශන පවත්වනු ලැබීමට නියමිතව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes