General14 June 2026

වත්මන් පාලනය රාජ්‍ය සේවකයා, දේශපාලඥයා මෙන්ම සමස්ත ජනතාවම මර්දනය කරමින් සිටිනවා: නාමල් රාජපක්ෂ

“වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවකයා සහ දේශපාලඥයා මර්ධනය කරන අතරම, අනිත් පැත්තෙන් ජනතාව ද දැඩි පීඩනයකට පත් කරමින් සිටින බව” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

අසීමිත බදු බර, ආර්ථික සහ සමාජීය පීඩනය මෙන්ම දරාගත නොහැකි ජීවන වියදම හේතුවෙන් අද වන විට ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවයි හෙතෙම සඳහන් කළේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊයේ (13) මේ බව පැවසුවේ අම්පාර, පදියතලාව ප්‍රදේශයේ පැවැති කොට්ඨාශ රැස්වීමක් අමතමින්.

මෙහිදි අදහස් දැක්වු නාමල් රාජපක්ෂ මෙසේද පැවසුවා.

“පසුගිය වෙසක් පොහොය දවසේ ආණ්ඩුවත් මැදිහත් වෙලා වෙසක් උත්සව කරා. වෙසක් ඉවර වුණ ගමන් පහුවදා විදුලිබිල වැඩි කරා. පෝයට සැළසුම් කරපු වියදම නෙවෙයි පෝයට පහුවදා තියෙන්නේ. ආණ්ඩුව මේවා ගැන තැකිමක් නැහැ. අඩුම ගානේ විහාරස්ථානවල වෙසක් පෝය දවසේ පොසොන් පොහොය දවසේ විදුලිබිලට සහනයක් දෙන්න අනිත් දවස්වලට බැරිනම්.

අම්පාර පදියතලාව ජනතාව ජීවත් වෙන්නේ මහ පොළවත් එක්ක හැප්පිලා. ඔබ බලාපොරොත්තු වෙනවා ඔබේ වගාවට සාධාරණ මිලක්. ඔබේ සාධරණ මිල වගේම තමයි පාරිභෝගිකයාගේ මිල ගැනත් ඔබ අවධානයෙන් ඉන්න ඕන. අද මොකක්ද වෙලා තියෙන්නේ. ඔබට සාධාරන මිල ලැබෙන්නෙත් නැහැ. පරිභෝජන කරන ජනතාවට සාධාරණ මිල ලැබෙන්නෙත් නැහැ. අතරමැදි වෙළෙන්දන් ගේ අවශ්‍යතාවය මත එලවලු හාල් පලතුරු පිටින් ගේන්න සැලසුම් කරලා තියෙනවා.අවසානයේ මේ රටේ ගොවි ජනතාව අසීමිත පීඩනයකට ලක්වෙලා.

එදා අපි බඩ ඉරිගු පිටරට යැව්වා අද ඔබේ අස්වැන්න නෙලන කාලේට ඩොලර් දිල පිටරටින් බඩ ඉරිගු ගේනවා. අවසානයේ ඔබ වවන බඩ ඉරිගු කරලට සාධාරණයක් වෙන්නේත් නැහැ. ලංකාවේ ඩොලර් ටිකත් පිටරටට යනවා. සැළසුම් සහගතව ආණ්ඩුවේ මිත්‍රයින් කිහිප දෙනෙකුගේ ලාබය වැඩි කරන්න ගත්ත තින්දු තීරණ නිසා ගොවි ජනතාව අද අසරණ වෙලා තියෙනවා.

ආණ්ඩුව අද හැම අතින්ම මර්දනයට සුදානම් වෙනවා. දේශපාලන වශයෙන් හිරේට දානව නම් දාන්න. නඩු දානව නම් දාන්න. ඒ තුළින් ජනතාවගේ ප්‍රශ්නවලට උත්තරයක් හමුවෙන්නේ නැහැ. ආණ්ඩුව බැදිලා ඉන්නවා මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

අප අද ගම්මනාවලට යනකොට අපිට ඡන්දය නොදුන්න අය අපිට එකතුවෙනවා. ඒ එකතුවෙන්නේ ඇයි? ඒ අපි තුළ තිබෙන විශ්වාශය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලය තුළ අපි ගමට වැඩකරා. අවංකව වැඩකරා. අද අපි ගමට එනකොට කොට්ඨාශ රුස්විම්වලට ජනතාව විශාල වශයෙන් එකතු වෙනවා. අපිට වගකීමක් තියෙනවා. අපි ඒ විශ්වාශය රකිනවා”

ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂක ජොන්ස්ටන් ප්‍රනාන්දු,ගම්පහ ආසන සංවිධායක හිටපු අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අම්පාර ආසන සංවිධායක ඩබ්. ඩී. විරසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය තිලක් රාජපක්ෂ මෙම රැලිය අමතනු ලැබූ අතර, මේ සදහා විශාල ජනතාවක් සහභාගි වුණා.
Related recommendation
Hiru TV News | Programmes