General14 June 2026

යුද හමුදා බුද්ධි තොරතුරකින් මහා පරිමාණ කංසා හේන් 2ක් වටලයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලැබුණු රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ, තණමල්විල සහ හම්බෙගමුව ප්‍රදේශවල සිදු කළ මහා පරිමාණ වැටලීම් දෙකකදී අක්කර දෙකහමාරකට අධික භූමි ප්‍රමාණයක වගා කර තිබූ කංසා හේන් දෙකක් වැටලූ බව යුද හමුදාව පවසනවා.

මෙම මෙහෙයුමේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සොයාගත් කංසා පැළ තොගය එම ස්ථානයේදීම ගිනිතබා විනාශ කිරීමට පියවර ගෙන ඇතැයි ද යුද හමුදාව සඳහන් කරනවා.

යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් සහ කතරගම විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් විසින් හම්බන්තොට, බලහරුව, තණමල්විල ප්‍රදේශයේදී ඉකුත් 12 වැනිදා ඒකාබද්ධ මෙහෙයුමක් කර අක්කරයක පමණ භූමි භාගයක ඉතා සූක්ෂ්ම ලෙස වගා කර තිබූ කංසා ගස් 19,800ක් සිය භාරයට ගෙන තිබූ බව යුද හමුදාව සඳහන් කරනවා.

මේ අතර යුද හමුදා බුද්ධි අංශය සහ මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් එක්ව හම්බෙගමුව, උනකන්ද, අලිවල ප්‍රදේශයේදී තවත් ඒකාබද්ධ වැටලීමක් සිදු කර අක්කරයක පමණ වගා කර තිබූ කංසා පැළ 23,250 කින් යුත් කංසා හේනක් වටලා තිබුණා. එහිදී සැකකරුවෙකු ද ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබූ බවයි යුද හමුදාව සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා හම්බෙගමුව පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

සොයාගන්නා ලද කංසා පැළ තොගය අධිකරණ නියෝග සහ නීතිමය ප්‍රතිපාදනවලට යටත්ව එම ස්ථානයේදීම ගිනිතබා විනාශ කිරීමට නිලධාරීන් පියවර ගෙන තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes