International16 June 2026

කාම්බෝජයට චීන යුද ටැංකි ලැබීම ගැන තායිලන්තයේ දැඩි අවධානය

චීනයේ නිෂ්පාදිත ‘T59D’ වර්ගයේ යුද ටැංකි කාම්බෝජය වෙත ලැබීම සම්බන්ධයෙන් තායිලන්තය දැඩි අවධානයෙන් පසුවන නමුත්, එම යුද උපකරණ මෙතෙක් තායි-කාම්බෝජ දේශසීමාව වෙත ගෙනවිත් නොමැති බව තායිලන්ත ආරක්ෂක අමාත්‍ය ලුතිනන් ජෙනරල් අදුල් බූන්තම්චරොයින් ප්‍රකාශ කර තිබෙනවා.

ජූනි 10 වැනිදා රජයේ මන්දිරයේදී මාධ්‍ය අමතමින් ආරක්ෂක අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, කාම්බෝජයට T59D වර්ගයේ යුද ටැංකි 39ක් ලබා දීමෙන් පසු චීන නිලධාරීන් සාකච්ඡාවක් ඉල්ලා ඇති බවට පළවන වාර්තා පිළිබඳව පැහැදිලි කරමින්.

දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා සන්නද්ධ බලකා ප්‍රධානීන් ද සමගින් තමන් පසුගියදා අග්‍රාමාත්‍ය අනුටින් චාන්විරාකුල් සමග වියට්නාමයේ නිල සංචාරයක නිරත වූ බව ද හෙතෙම සඳහන් කර තිබෙනවා.

එහිදී වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ ජාතික ආරක්ෂක අමාත්‍යවරයා හමුවීමට තමාට අවස්ථාව ලැබුණු බවත්, නව ධුරයට පත්වීමෙන් පසු සිදුකරන මෙවැනි හමුවීම් සාමාන්‍ය සම්ප්‍රදාය බවත් ඔහු පැවැසුවා.

මෙම යුද ටැංකි සැපයීම සම්බන්ධයෙන් චීනය තායිලන්තයට කරුණු පැහැදිලි කර ඇත්තේ කෙසේදැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, චීනය සහ කාම්බෝජය 2016 වසරේ සිටම දීර්ඝ කාලයක තිස්සේ ඒකාබද්ධ යුද අභ්‍යාස පවත්වන බවයි.

"මේවා චීනය විසින් නවීකරණය කරන ලද පැරණි මාදිලියේ යුද ටැංකි කාම්බෝජය තම ජාතික ආරක්ෂක කටයුතු වෙනුවෙන් මෙලෙස නව යුද උපකරණ මිලදී ගන්නා බව තායිලන්තය කලින්ම දැන සිටියා." යැයි අමාත්‍යවරයා පවසා තිබෙනවා.

මෙම යුද ටැංකි ගෙන්වීම තායිලන්තයේ දේශසීමා ආරක්ෂාවට බලපෑමක් එල්ල කරන්නේද යන්න තීරණය වන්නේ කාම්බෝජය ඒවා ස්ථානගත කරන්නේ කුමන ප්‍රදේශයකද යන්න මත බව අදුල් පෙන්වා දුන්නා.

වත්මන් බුද්ධි තොරතුරුවලට අනුව, අදාළ යුද ටැංකි කාම්බෝජයේ වරායකට ළඟා වී ඇති නමුත් ඒවා මෙතෙක් දේශසීමා ප්‍රදේශ වෙත ප්‍රවාහනය කර නොමැත.

දේශසීමා ආශ්‍රිතව යුද උපකරණ සහ හමුදා නිලධාරීන් ගමන් කිරීම පාලනය කිරීම සඳහා තායිලන්තය සහ කාම්බෝජය අතර දැනටමත් ඒකාබද්ධ ප්‍රකාශනයක් ක්‍රියාත්මක වන බව ද ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes