General17 June 2026

මගී ප්‍රවාහන යාත්‍රාවෙන් ඉන්දියාවට රන් ගෙනයන්න හැදූ 26ක් රේගු භාරයට

කන්කසන්තුරේ වරායේ සිට ඉන්දියාවේ නාගපට්ටිනම් බලා යාත්‍රා කිරීමට නියමිතව තිබූ 'SG423' දරන මගී ප්‍රවාහන නෞකාව (Ferry) මගින් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රන් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ බවට සැකපිට මඟීන් 26 දෙනෙකු ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගු බුද්ධි අංශයට ලැබුණු විශේෂ තොරතුරකට අනුව අද දින (17) මෙම වැටලීම සිදු කර තිබුණා.

මෙලෙස රේගු භාරයට ගෙන ඇති පිරිස අතර ඉන්දියානු සහ ශ්‍රී ලාංකික මගීන් පිරිසක් සිටින බවයි රේගුව සඳහන් කළේ.

පිරිස අතර ඉන්දියානු ජාතිකයින් 17 දෙනෙක්, ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයින් තිදෙනෙක් හා කාන්තාවන් 06 දෙනෙක් වන බව සඳහන්.

මූලික සෝදිසි කිරීම්වලදී එම පිරිස අතරින් පුද්ගලයන් දෙදෙනෙකු සන්තකයේ තිබී නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ රන් සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත් වුණා.

සෙසු සැකකරුවන් ද සිය ශරීර අභ්‍යන්තරයේ රන් සඟවාගෙන ප්‍රවාහනය කරන්නේද යන්න පිළිබඳව දැඩි සැකයක් මතුව තිබෙන අතර ඔවුන් සියලු දෙනාම විශේෂ එක්ස්-රේ (X-ray) සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට රේගු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes