International26 June 2026

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ උණුසුම්ම ජුනි දිනය වාර්තා වෙයි: සෙල්සියස් 36.4 ඉක්මවූ රශ්මියෙන් රටම අඩපණයි

එක්සත් රාජධානියේ සමර්සෙට් (Somerset) ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.4ක් ලෙස සටහන් වෙමින්, බ්‍රිතාන්‍ය ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ උණුසුම්ම ජුනි දිනය ලෙස ඊයේ (25) දිනය ඉතිහාසයට එක්ව තිබෙනවා.

මෙය සතියක් තුළ බ්‍රිතාන්‍යයේ උපරිම උෂ්ණත්ව වාර්තාවක් බිඳවැටුණු දෙවන අවස්ථාවයි.

මීට පෙර පසුගිය බදාදා දිනයේදී හැම්ප්ෂයර් (Hampshire) ප්‍රාන්තයෙන් සෙල්සියස් අංශක 36.1ක වාර්තාගත උෂ්ණත්වයක් වාර්තා වී තිබුණා.

දැඩි උණුසුම් දේශගුණය හේතුවෙන් රට පුරා දෛනික ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, අධික රශ්මිය හමුවේ දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා පාසල් සිය ගණනක් නියමිත වේලාවට පෙර වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම, අධික උෂ්ණත්වය හේතුවෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයට ද දැඩි බාධා එල්ල වී ඇති අතර, අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන්වලින් වළකින ලෙසයි දුම්රිය මගීන්ට උපදෙස් දී ඇත්තේ.

දකුණු එංගලන්තය සඳහා ලබන සිකුරාදා දක්වා බලපැවැත්වෙන පරිදි කාලගුණ අංශ විසින් දුර්ලභ ගණයේ රතු පැහැති (Red Weather Waing) කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

මූලාශ්‍රය - බීබීසී
Related recommendation
Hiru TV News | Programmes