General01 July 2026

සුරේෂ් සලේගේ දුරකථනයේ සහ පරිගණකයේ මුරපද සීඅයිඩීයට දෙන්න: අධිකරණයෙන් නියෝග

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා තබා ගනිමින් ප්‍රශ්න කරනු ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, ඔහුගේ ජංගම දුරකථනයේ සහ පරිගණකයේ මුරපදය (Password) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (01) සැකකාර සුරේෂ් සලේට නියෝග කළා.

පෙර නඩු දිනයේදී පැමිණිලිකාර පාර්ශවය ඇතුළු විවිධ පාර්ශව විසින් කරන ලද ඉල්ලීම්වලට අදාළව පිටු 23කින් යුත් නියෝගය අධිකරණයට ඉදිරිපත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම තීන්දුව ලබා දුන්නා.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව මෙම විමර්ශනයෙන් ඉවත් කරන ලෙස ඉදිරිපත්ව තිබූ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මීට අමතරව, තෙවන සැකකරු වන සුරේෂ් සලේ වෙනුවෙන් ඔහුගේ නිවැසියන් විසින් ලබා දීමට ඉල්ලා සිටි පුවත්පත් සහ ලිඛිත ද්‍රව්‍ය ලබා දීම ද අධිකරණය ප්‍රතික්ෂේප කළා.

එමෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය ප්‍රකාරව, අපරාධ උච්චාරණයක් නොවන ප්‍රකාශයක් කිරීමට කරන ලද ඉල්ලීම ද මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළ අතර, එවැනි ප්‍රකාශයක් කිරීම විමර්ශනවලට බාධාවක් විය හැකි බව ද දන්වා සිටියා.

මෙම සිද්ධියට අදාල පළමු සහ දෙවැනි සැකකරුවන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් සාක්ෂි නොමැති බව පවසමින් කරන ලද ඉල්ලීම ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර, තෙවැනි සැකකරුගේ නීතිඥවරයා සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීමට කරන ලද ඉල්ලීමට අදාළ නියෝගය ද මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා.

එමෙන්ම, මෙම සිද්ධියේ තුන්වන සැකකරු වන සුරේෂ් සලේව ඉදිරි නඩු කටයුතු පවතින දිනවලදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ (Video Technology) අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියම කළේ.

මෙම නඩුකරය ලබන සැප්තැම්බර් මස 02 වන දින නැවත කැඳවීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes