General06 July 2026

ක්‍රිකට් පිටියේදී ජීවිතයෙන් සමුගත් 45 හැවිරිදි ක්‍රීඩකයා : සුහද ක්‍රිකට් තරගය මළගමක් වෙයි

බේරුවල, චීන කොටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ මුස්ලිම් පාසලක ආදී සිසුන් අතර අද (05) සවස පැවැති සුහද ක්‍රිකට් තරගයක් අතරතුර, ක්‍රීඩා කරමින් සිටි ක්‍රීඩකයෙකු ක්‍රීඩා පිටිය මැදදීම ඇද වැටී අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව බේරුවල පොලිසිය පවසනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, බේරුවල ප්‍රදේශයේම පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙක්.

ආදී සිසුන්ගේ සුහදත්වය වර්ධනය කරගැනීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ක්‍රිකට් තරගයේදී ඔහු ක්‍රීඩා කරමින් සිටියදී එකවරම පිටිය මැද ඇද වැටී තිබෙනවා.

අනතුරුව එහි සිටි පිරිස වහාම ක්‍රියාත්මක වී ඔහුව බේරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්ත ද, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

හදිසි හෘදයාබාධයක් මරණයට හේතුව වන්නට ඇති බවට සැක කෙරෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
Related recommendation
Hiru TV News | Programmes