International10 July 2026

ඉන්දියාවම කම්පා කළ ඛේදවාචකය - මලක් නසා පොලිස් වෙඩි පහරින් මියගිය නරුම පුතුගේ දේහය භාර ගැනීම මව ප්‍රතික්ෂේප කරයි

ඉන්දියාවම කම්පා කරමින් අවුරුදු 12ක මල් කැකුළක් තලා පොඩි කර, සදහටම මිලින කළ ප්‍රබෑෂ් මොන්ඩාල් නමැති පුද්ගලයා පොලිස් වෙඩි පහරින් මියගොස් තිබෙනවා.

සිද්ධිය වූ ස්ථානය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ඔහුව රැගෙන ගිය අවස්ථාවේදී සිදු වූ පොලිස් වෙඩි තැබීමකින් ඔහු මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම මරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සැකකරුගේ මව ප්‍රකාශ කර ඇත්තේ තමා කිසිසේත්ම තම පුතුගේ මළසිරුර බාර නොගන්නා බවයි.

තමා කළ වැරදිවලට ඔහුට ලැබිය යුතු උපරිම දඬුවම ලැබී ඇති බව ඇය මෙහිදී අවධාරණය කළා.

මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ මව මෙසේ පැවසුවා..

"පොලිස් නිලධාරීන් දෙන්නෙක් අපේ ගෙදරට ආවා. ඒ වෙලාවේ මම ඇහැරුණා විතරයි. ඔවුන් මට කිව්වා මගේ පුතා මියගිහින්, ඒ නිසා රෝහලට යන්න එන්න කැමතිද කියලා. මගේ ස්වාමිපුරුෂයා අසනීපෙන් ඉන්න නිසා මට එන්න බැහැ කියලා මම ඔවුන්ට කිව්වා."

"මම ඔවුන්ට කිව්වා ඔවුන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කරන්න, මගේ කිසිම අකමැත්තක් නැහැ කියලා. මගේ පුතා කරපු දේට ඔහුට දඬුවම් ලැබිලා තියෙනවා. මම ඔහුගේ මළසිරුර බාරගන්නේ නැහැ. මම ඔහුව නැවත අපේ ගෙදරට ගේන්නේ නැහැ. ඔහු හොඳ දෙයක් කළේ නැහැ. ඔහු කළේ වැරැද්දක්, ඒ වෙනුවෙන් ඔහුට දඬුවම් ලැබුණා."

ඇය දැඩි සංවේගයෙන් හා කෝපයෙන් යුතුව අවසන් වශයෙන් කියා සිටියේ, "ඔහුට මොනවා කළත් මගේ කිසිම විරෝධයක් නැහැ. මම ඔහුගේ සිරුර බාරගන්නේ නැහැ," යන්න පමණයි.
Related recommendation
Hiru TV News | Programmes