International11 July 2026

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට නවසීලන්තයෙන් උණුසුම් රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක්

සිය නවසීලන්ත නිල සංචාරය ආරම්භ කරමින් ඕක්ලන්ඩ් නුවර රජයේ මන්දිරය වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත අති උත්කර්ෂවත් රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් පිරිනමා තිබෙනවා.

මෙම පිළිගැනීමේ උත්සවය සඳහා නවසීලන්තයේ සංස්කෘතික උරුමයන් සහ වටිනාකම් විදහා දක්වන එරට ස්වදේශිකයන්ගේ සාම්ප්‍රදායික "මාවෝරි පෝහිරි" චාරිත්‍රානුකූල පිළිගැනීම ද ඇතුළත් වුණා.

වසර හතළිහකට පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන ලද ප්‍රථම නිල සංචාරය මෙය වන අතර, මෙම උණුසුම් පිළිගැනීම මඟින් ඉන්දියා-නවසීලන්ත ද්විපාර්ශ්වික සබඳතාවල පවතින වර්ධනය මැනවින් පිළිබිඹු කෙරෙනවා.

"අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඕක්ලන්ඩ් නුවර රජයේ මන්දිරයේදී උණුසුම් චාරිත්‍රානුකූල පිළිගැනීමක් ලැබුවා. නවසීලන්තයේ පොහොසත් ස්වදේශික උරුමය සහ සංස්කෘතික වටිනාකම් විදහා දක්වමින් එරට සාම්ප්‍රදායික 'මාවෝරි පෝහිරි' චාරිත්‍රය මඟින් එතුමාට ගෞරව පුද කරනු ලැබුවා," යනුවෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් 'X' සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ සන්ධ්‍යාවේ අග්‍රාමාත්‍ය මෝදි ඕක්ලන්ඩ් නුවර වෙත ළඟා වූ අතර එහිදී විශේෂ රාජ්‍ය තාන්ත්‍රික ගෞරවයක් දැක්වීමක් වශයෙන් නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් විසින් ගුවන් තොටුපළේදීම ඔහුව පෞද්ගලිකවම පිළිගනු ලැබූ අතර, එමගින් දෙරටම මෙම සංචාරයට ලබා දෙන ඉහළ වැදගත්කම මැනවින් පැහැදිලි වෙනවා.

මෙය වසර 40 කට පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු නවසීලන්තයේ නිරත වන පළමු නිල සංචාරය වන අතර, වෙළඳාම, ආයෝජන, අධ්‍යාපනය, ආරක්ෂක සහ දෙරටේ ජනතාව අතර සබඳතා ඇතුළු ක්ෂේත්‍ර රැසක ද්විපාර්ශ්වික සහයෝගීතාවයට මේ හරහා නව ජවයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
Related recommendation
Hiru TV News | Programmes