General13 July 2026

ඩුබායි වරුණගේ මත්ද්‍රව්‍ය ජාලයේ තරුණයෙක් අයිස් කිලෝ 9ක් සහ ආයුධ තොගයක් සමග එස්ටීඑෆ් දැලේ

රුපියල් කෝටි ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09ක් සහ ආයුධ තොගයක් සමඟ දොම්පේ, ජඹුගහහන්දිය ප්‍රදේශයේදී තරුණයෙක් අද (13) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා.

විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අද (13) සිදු කළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ වයස අවුරුදු 25ක තරුණයෙක්.

සැකකරු යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා. පසුව දොම්පේ, ජඹුගහහන්දිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී සිදු කළ සෝදිසි කිරීම්වලදී රුපියල් මිලියන ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 120ක්, ‘ජෝනි බට්ටන්’ (පුපුරණ ද්‍රව්‍ය) 3ක්, ෆියුස් 4ක්, කඩු 5ක් සහ එම්-16 (M16) ගිනිඅවියට භාවිතා කරන පතොරම් 20ක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මොහු ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාලයක මෙහෙයවන්නෙකු වන ‘වරුණ’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ගබඩා කර තබා ගැනීම සහ ඒවා දිවයින පුරා බෙදාහැරීමේ ප්‍රධාන තැරැව්කරු ලෙස කටයුතු කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය ඇතුළු ආයුධ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත භාර දී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes