General15 July 2026

ලිංගික අධ්‍යාපන සන්නිවේදන මාර්ගෝපදේශ සහ ජාතික අධ්‍යයන වාර්තා එළිදැක්වීම අද

මෙරට මහජනතාවට ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපනික කරුණු ලබාදීමේ දී අනුගමනය කළ යුතු "ලිංගික අධ්‍යාපන සන්නිවේදන මාර්ගෝපදේශ" එළිදැක්වීමේ ජාතික උත්සවය අද (15) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (Health Promotion Bureau) විසින් සංවිධානය කරනු ලබන මෙම උත්සවයේදී මෙරට ජනතාව, පාසල් පද්ධතිය සහ තාරුණ්‍යය ඉලක්ක කරගත් සුවිශේෂී ලිංගික සන්නිවේදන මාර්ගෝපදේශ සහ අධ්‍යයන වාර්තා කිහිපයක් නිල වශයෙන් එළිදැක්වීමට නියමිත බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙහිදී එළිදැක්වීමට නියමිත ප්‍රධාන ලේඛන සහ මාර්ගෝපදේශ අතර, වයසට ගැළපෙන ලිංගික අධ්‍යාපනය පිළිබඳ සන්නිවේදන මාර්ගෝපදේශය, ශ්‍රී ලංකාවේ ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳ ජාතික අධ්‍යයන වාර්තාව සහ 6, 7 ශ්‍රේණිවල ගුරුවරුන් සඳහා වන වයසට ගැළපෙන ලිංගික අධ්‍යාපන සන්නිවේදන අත්පොත වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මෙම ප්‍රකාශන එළිදැක්වීමට අමතරව, වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය සෞඛ්‍ය ප්‍රවර්ධන පරිසරයක් ලෙස සංවර්ධනය කිරීමේ විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ද මෙම උත්සවයේදී සිදු කෙරේ.
Related recommendation
Hiru TV News | Programmes