General15 July 2026

ඉන්දියාවේ රෙදි ප්‍රදර්ශනයකට ඇමති හඳුන්නෙත්ති ගිහින් ඇමති ගිරිරාජ් සහ මාගරීටා සමඟ සාකච්ඡා

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන ලොව ප්‍රමුඛතම සහ විශාලතම රෙදිපිළි හා ඇඟලුම් ප්‍රදර්ශනයක් වන ‘භාරත් ටෙක්ස් 2026’ අතරතුර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇඟලුම් ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක් පවත්වා තිබෙනවා. 2026 ජූලි 14 වැනිදා පැවැත්වුණු මෙම සුවිශේෂී හමුව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති එක්ව සිටියා.

මෙහිදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ඉන්දීය මධ්‍යම රෙදිපිළි අමාත්‍ය ගිරිිරාජ් සිං (Shri Giriraj Singh) සහ ඉන්දීය රෙදිපිළි හා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය පබිත්‍රා මාගරීටා (Shri Pabitra Margherita) සමඟ සාකච්ඡාවල නිරත වූ බවයි වාර්තා වන්නේ.

දෙරටේ ඇඟලුම් කර්මාන්තයේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, නිෂ්පාදන අගය දාම සබැඳියාවන් (Value-chain linkages) ශක්තිමත් කිරීම, ද්විපාර්ශ්වික වෙළඳාම පුළුල් කිරීම, කාර්මික සහයෝගීතාව මෙන්ම ක්ෂේත්‍රයේ ශ්‍රමිකයන්ගේ කුසලතා හා ධාරිතාව වර්ධනය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරුණා.

ගෝලීය වශයෙන් ඉහළ පිළිගැනීමක් සහිත ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය, උසස් ප්‍රමිතියෙන් යුත් තිරසාර සහ සදාචාරාත්මක නිෂ්පාදන සම්බන්ධයෙන් ලොව පුරා විශාල කීර්තියක් උසුලනවා. ඉන්දියාව සමඟ පවතින දිගුකාලීන වාණිජ සබැඳියාවන් ද උපයෝගී කරගනිමින්, දෙරටේ ඇඟලුම් අගය දාමයන් තවදුරටත් ඒකාබද්ධ කරමින් ඉදිරි ආර්ථික ප්‍රතිලාභ ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

රටවල් 130කට අධික සංඛ්‍යාවක කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, නිෂ්පාදකයන්, ගැනුම්කරුවන් සහ නව නිපැයුම්කරුවන් එක්වන ‘භාරත් ටෙක්ස් 2026’ ප්‍රදර්ශනය, මෙවැනි ජාත්‍යන්තර සබඳතා ගොඩනැඟීමට සහ නව වෙළඳපොළ අවස්ථා ගවේෂණය කිරීමට කදිම ගෝලීය වේදිකාවක් සපයනවා. මෙමඟින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් සන්නාමය ජාත්‍යන්තර තලයේ තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ඉන්දීය ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීමට ද මහඟු පිටුවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
Related recommendation
Hiru TV News | Programmes