General15 July 2026

ජාතික හැඳුනුම්පත් නොමැති 2026 සාමාන්‍ය පෙළ පෞද්ගලික අයැදුම්කරුවන්ට භාරකරුගේ හැඳුනුම්පතෙන් ලියාපදිංචි විය හැකියි: විභාග දෙපාර්තමේන්තුව

මෙවර 2026 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා අයදුම්පත් කැඳවන දින වන විටත් ජාතික හැඳුනුම්පත් ලබාගෙන නොමැති පෞද්ගලික අයැදුම්කරුවන්ට, තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත භාවිතා කර ඔන්ලයින් හරහා ලියාපදිංචි වී අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ජාතික හැඳුනුම්පත් ලබාගෙන නොමැති පාසල් අයැදුම්කරුවන් සඳහා විභාගයට අයැදුම්පත් ඉදිරිපත් කිරීමේදී පිළිපැදිය යුතු විශේෂ උපදෙස් මාලාවක් පාසල්වල විදුහල්පතිවරුන් වෙත මේ වන විටත් ලබා දී ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් දක්වා ඇත්තේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම 2026 ජූලි මස 03 වන දින සිට 2026 ජූලි මස 23 වන දින දක්වා මාර්ගගතව (Online) සිදු කෙරේ.

ඒ අනුව, මේ වන විටත් ජාතික හැඳුනුම්පත ලබාගෙන නොතිබීම නියමිත දිනට පෙර විභාගය සඳහා අයැදුම් කිරීමට බාධාවක් නොවන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

සියලුම අයැදුම්කරුවන් විභාග නිවේදනයේ ලබා දී ඇති උපදෙස් පරිදි 2026.07.23 දිනට පෙර විභාගය සඳහා අයැදුම් කළ යුතු අතර, කිසිදු හේතුවක් මත අයැදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවද අධ්‍යාපන දෙපාර්ත‍මේන්තුව සඳහන් කරනවා.

මෙම අයැදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම්, 1911 ක්ෂණික දුරකථන අංකය මඟින් හෝ 0112784537, 0112786616, 0112784208 යන දුරකථන අංක සහ 0112784422 යන ෆැක්ස් අංකය මඟින් විමසීම් කළ හැකි බවයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes