General04 August 2026

ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් තිදෙනෙක් ජීවිතක්ෂයට

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙක් මරණයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

මඳුරාගොඩ, කයිට්ස් සහ දැරණියගල යන පොලිස් වසම්වලින් මෙම අනතුරු වාර්තා වී තිබෙනවා.

ඊයේ (03) උදෑසන මඳුරාගොඩ පොලිස් වසමේ, දොඩන්ගස්ලන්ද මැල්සිරිපුර මාර්ගයේ කෙසෙල්වත්ත මාර්ගයට හැරෙන හන්දිය අසලදී සිදුවූ රිය අනතුරකින් දොඩන්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි යතුරුපැදිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මැල්සිරිපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් විරුද්ධ දිසාවෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබූ බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර, කයිට්ස් පොලිස් වසමේ වලන්තලේ හන්දියේ සිට අරාලි හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක්, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පාපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් බරපතල තුවාල ලැබූ කරෙයිනගර් ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පාපැදිකරු කරෙයිනගර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. අනතුර සිදුකළ යතුරුපැදිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

දැරණියගල පොලිස් වසමේ, දැරණියගල - දෙහිඕවිට මාර්ගයේ ඉලුක්තැන්න ප්‍රදේශයේදීද ඊයේ (03) රාත්‍රියේදී මාරක අනතුරක් සිදුව තිබෙනවා.

දෙහිඕවිට දෙසට ධාවනය වූ යතුරුපැදියක ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් බරපතල තුවාල ලැබූ දැරණියගල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක් දැරණියගල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසනවා.
Related recommendation
Hiru TV News | Programmes