General11 August 2026

වෙඩි වැදුණු මුවෙකු බේරාගෙන වනජීවී නිලධාරීන්ට භාරදෙයි

වීරකැටිය, ගෝනදෙණිය තේක්ක රක්ෂිතයේදී මස් වැද්දන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටි මුවෙකුගේ ජීවිතය බේරාගැනීමට ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සමත්ව තිබෙනවා.

ඊයේ (10) වැනිදා පස්වරුවේ තුවාල ලැබූ මුවා ජලය පානය කිරීම සඳහා ගෝනදෙණිය ඇළ අසලට පැමිණ සිටියදී මෙම තරුණයන් පිරිසගේ නිරීක්ෂණයට ලක්ව තිබුණා.

පසුව වහා ක්‍රියාත්මක වූ තරුණයන් මුවා ආරක්ෂිතව අල්ලාගෙන, වනජීවී නිලධාරීන් දැනුවත් කර උඩවලව වනජීවී පශු වෛද්‍ය ඒකකය වෙත භාරදීමට කටයුතු කළා.

ගෝනදෙණිය තේක්ක රක්ෂිතයේ වෙසෙන මුවන් ඇතුළු වනසතුන් මස් වැද්දන් අටවන මදුවලට හසුවීමෙන් සහ වෙඩි ප්‍රහාරවලට ලක්වීමෙන් නිරන්තරයෙන් ජීවිත අවදානමකට මුහුණ දෙන බව ප්‍රදේශවාසීන් පවසනවා.

තූවාල ලැබූ මුවාට අවශ්‍ය පශු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව, සුවය ලැබූ පසු සුදුසු වන ලැහැබකට මුදාහැරීමට කටයුතු කරන බවයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ.
Related recommendation
Hiru TV News | Programmes