General16 August 2026

මැර කල්ලි දෙකක් හදා නායකයා වෙන්න ගිය අයෙක් ආයුද සමග STF දැලේ

විශේෂ කාර්ය බලකායේ ත්‍රිකුණාමලය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව ඊයේ (15) සිදු කළ විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උප්පුවේලි පොලිස් වසමට අයත් ත්‍රිකුණාමලය, පුලියමන්කුලම, දේවනගර්, මදුමෙයි වීදියේ පිහිටි නිවෙසක මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11ක්, කඩුවක් සහ යකඩ බටයකට යකඩ දැති රෝදයක් සවිකර සකස් කරන ලද තියුණු ආයුධයක් සොයාගෙන ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය, පුලියමන්කුලම, දේවනගර් ‍ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු විසින් දේවනගර් ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් "කුට්ටි පුලි" සහ "විජේ ටීම්" යනුවෙන් මැර කල්ලි දෙකක් නිර්මාණය කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා.

එම කල්ලි දෙකෙහිම නායකයා ලෙස කටයුතු කරමින් ඔහු ප්‍රදේශවාසීන් බියගැන්වීම් හා විවිධ අපරාධයන්හි නිරත වී ඇති බවට තොරතුරු අනාවරණය වූ බව ද පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන හා ඉදිරි නීතිමය කටයුතු සඳහා උප්පුවේලි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
Related recommendation
Hiru TV News | Programmes