Business19 June 2026

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන පහළ යෑමක්

අමෙරිකා, ඉරාන ජනාධිපතිවරුන් දෙරට අතර යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් මූලික සාම ගිවිසුමට අත්සන් තැබීම සමගින් ලෝක
වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා.

ඊයේ වාර්තා වූ බොරතෙල් මිල එදිනට වසරකට පෙර පැවැති අගයට සමාන වී තිබීමත් විශේෂත්වයක්

එවන් පසුබිමක අද උදෑසන වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 79.38ක් ලෙස සටහන් වූ අතර WTI බොරතෙල්
බැරලයක මිල අමෙරිකානු ඩොලර් 75.45ක් ලෙස සටහන් වුණා.

දින 100කට අධික කාලයක් පුරා අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පැවති යුද ගැටුම හරහා මැදපෙරදිග කලාපයේ අස්ථාවරත්වයක් ඇතිවූ අතර පසුව එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය බලශක්ති අර්බුදයක්ද නිර්මාණය වුණා.

කෙසේ වෙතත් අමෙරිකා ඉරාන ජනාධිපතිවරුන් දෙරට අතර යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් මූලික සාම ගිවිසුමට අත්සන් තැබීම සමගින් හෝමුස් සමූද්‍ර සන්ධිය යළි විවෘත කළ අතර ඒ සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු පහත වැටී තිබෙනවා.

ඒ යටතේ මැදපෙරදිග සිට ආසියානු කලාපය වෙත ඉන්ධන බැරල් මිලියන 62කට ආසන්න ප්‍රමාණයක් ඉදිරි සති තුන තුළ පැමිණෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

මේ හෝමුස් සමූද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය යථාවත් වී තිබෙනවා.

මැදපෙරදිග කලාපයේ යුද ගැටුම ආරම්භ වීමට පෙර එනම් පසුගිය පෙබරවාරි මස 28 වැනිදා වන විට ලෝක වෙළෙදපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 72.87ක් ලෙසත් WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 67.02ක් ලෙසත් සටහන්වුණා.

කෙසේ වෙතත් අමෙරිකාව සහ ඉරානය අතර යුද ගැටුම උත්සන්න වූ අතර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 126 දක්වාත්, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 115 දක්වාත් ඉහළ ගියා.

කෙසේ වෙතත් මේවන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන පහළ යාමක් පෙන්නුම් කරනවා.

ඒ අනුව ඊයේ දිනයේ්දී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 76.64ක් දක්වා පහත වැටී තිබූ අතර WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 73.93ක් දක්වා පහත වැටී තිබුණා

එය ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල,පසුගිය වසරේ ජුනි 18 වැනිදා පැවැති අගයට සමානයි.

කෙසේ වෙතත් අද බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 79.38ක් ලෙස සටහන් වූ අතර WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 75.45ක් ලෙස සටහන් වුණා

ලෝක වෙළදපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යාම මෙරට ඉන්ධන මිලටද සැලකිය යුතු බලපෑමක් එල්ල කළා.

අමෙරිකාව සහ ඉරානය අතර යුධ ගැටුම ආරම්භ වූ පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට අවස්ථා 06කදී මෙරට ඉන්ධන මිල සංශෝධනය වී තිබෙනවා.

එම ප්‍රමාණය දළ වශයෙන් 40% ක පමණ ඉහළ යාමක් ලෙසයි ගනන් බලා ඇත්තේ

ඒ අනුව මැද පෙරදිග යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ සිට මේ දක්වා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල්141කින් ඉහළ ගොස් ඇති අතර , ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 155කින් වැඩි වී තිබෙනවා.

එමෙන්ම මැද පෙරදිග යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ සිට මේ දක්වා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 126කින්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 149කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 103කින් ඉහළ ගොස් ඇත්තේ ක්ෂේත්‍ර ගණනාවකටද බලපෑම් එල්ල කරමින්.
Related recommendation
Hiru TV News | Programmes