නවෝත්පාදන මත පදනම් වූ ගෝලීය සෞඛ්‍ය සමාගමක් වන ඉන්දියාවේ Zydus Lifesciences සහ Sunshine Healthcare සමාගම් එක්ව Zydus Sunshine Lifesciences (පුද්.) සමාගම නමින් නව හවුල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව නිල වශයෙන් නිවේදනය කර ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 20කට අධික ආයෝජනයක් සිදු කිරීමට නියමිතය.
මෙම ආයෝජනය මඟින් මෙරට ඖෂධ නිෂ්පාදන හැකියාව ශක්තිමත් වන අතර, ඖෂධ ආනයනය මත පවතින යැපීම සැලකිය යුතු ලෙස අවම කිරීමටද දායක වනු ඇත.
නව ඖෂධ නිෂ්පාදනාගාරය හොරණ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ අක්කර හතරකට ආසන්න භූමි ප්‍රමාණයක ඉදිකිරීමට නියමිත අතර, ව්‍යාපෘතියේ නිල ආරම්භය සනිටුහන් කරමින් මුල්ගල් තැබීමේ උත්සවය අද පැවැත්විණි.
මෙම කර්මාන්තශාලාව මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ පාරිභෝගික ඖෂධ වෙළඳපොළ සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනය කිරීම අරමුණු කරයි.
මෙම හවුල්කාරිත්වය තුළ ඉන්දියාවේ Zydus Lifesciences සමාගම සතු ජාත්‍යන්තර ඖෂධ නිෂ්පාදන දැනුම හා තාක්ෂණික ප්රවීණතාවයත්, Sunshine Healthcare සතු දේශීය වෙළෙඳපොළ දැනුම සහ ශක්තිමත් බෙදාහැරීමේ ජාලයත් ඒකාබද්ධ වේ.
මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් Zydus Lifesciences හි කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය ෂාර්විල් පී. පටෙල් මහතා සඳහන් කළේ, ඕනෑම රටක සෞඛ්‍ය පද්ධතියක ස්ථාවරත්වය සහ ආරක්ෂාව සඳහා ශක්තිමත් දේශීය නිෂ්පාදන හැකියාවක් අත්‍යවශ්‍ය බව තම සමාගම නිරන්තරයෙන් විශ්වාස කරන බවයි. Zydus හි ජාත්‍යන්තර අත්දැකීම් සහ උසස් නිෂ්පාදන ප්රමිතීන් Sunshine Holdings හි දේශීය විශේෂඥතාව සමඟ එක් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය තවදුරටත් ශක්තිමත් කිරීමට සහ තිරසාර ඖෂධ නිෂ්පාදන පද්ධතියක් ගොඩනැගීමට හැකි වන බවද ඔහු සඳහන් කළේය.
Sunshine Holdings සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ, මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහ කාර්මික වර්ධනය වෙනුවෙන් තැබූ වැදගත් ආයෝජනයක් බවයි. Zydus සමඟ එක්ව දේශීය ඖෂධ නිෂ්පාදන ශක්තිමත් කිරීමට, ඉහළ නිපුණතා සහිත රැකියා අවස්ථා නිර්මාණය කිරීමට සහ ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ පහසුවෙන් ලබාගැනීමේ අවස්ථාව වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මෙහි ප්‍රධාන පාර්ශවකරුවන් ලෙස කටයුතු කරනු ඇත. නිෂ්පාදනය කෙරෙන සියලුම ඖෂධ NMRA නියාමන ප්‍රමිතීන්ට සහ මිල පාලන රාමුවට අනුකූලව වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය.
Latest News
යතුරුපැදිය දුරකථන කණුවක ගැටී 16 හැවිරිදි සිසුවා මරුට
හෝමුස් සමුද්‍ර සන්ධියේදී ටැංකි නෞකාවකට ප්‍රහාරයක්
දියතලාවේ බස් රථ අනතුරින් තුවාල ලැබූ 35ක් තවමත් රෝහලේ
ඉරානය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරය බහරේනය දැඩි ලෙස හෙළා දකී
අපරාධකරුවන්ට පාස්පෝට් හැදූ ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ්
වෙනිසියුලාවේ තවත් භූ කම්පනයක්
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් ගැන පැතිර යන කටකතා අසත්‍යයි
තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ඩෙංගු රෝගීන් 50,000 පනී: මහනුවර පාසල්වලින් සියයට 59ක ඩෙංගු බෝවන තැන්
අමෙරිකානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවට ඉරානයෙන් නිවේදනයක්