General21 October 2025

ගෙවුණු පැය 12 තුළ වැඩිම වර්ෂාපතනය බද්දේගමට

අද උදෑසන 6න් අවසන් වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ල, බද්දේගමින් වාර්තාවනවා.

එය දැක්වුණේ මිලිමීටර් 167.6ක් ලෙසයි.

කලුතර - වලල්ලාවිට ප්‍රදේශයට මිලිමීටර 132ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඊට අමතරව ගල්ල - වතුරවිල ප්‍රදේශයට මිලිමීටර 126.40ක සහ ගාල්ල - ඇල්පිටිය ප්‍රදේශයට මිලමීටර් 108ක වර්ෂාපතනයක් ඇදහැලී තිබෙනවා.

මේ අතර මහඔය ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඉදිරි පැය 36ක කාලය තුළ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම්වල සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

එමෙන්ම දැදුරුඔය ද්‍රෝණියේ ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්න වෙමින් පැවතීම හේතුවෙන් වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ජනතාව අවදානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ අතර තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4ක් අද උදෑසන විවෘත කර තිබෙනවා.

මේ හේතුවෙන් ජලාශයේ පහළ ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අවදානයෙන් පසුවන ලෙස ද ජලාශය භාර වාරි මාර්ග ඉංජිනේරුවරයා දැනුම් දෙනවා.

ඊට අමතරව දැදුරුඔය, රාජාංගනය ජලාශය, අංගමුව සහ කලාවැවේ වාන් දොරටු ද තවදුරටත් විවෘතව පවතිනවා.

එමෙන්ම කොළඹ, බදුල්ල, ගාල්ල, කලුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කර ඇති නායයෑමේ අවදානම් නිවේදනය හෙට දක්වා ක්‍රියාත්මකයි.
Related Recommends
Hiru TV News | Programmes