International29 April 2026

ඉන්දියාවේ ආර්ථිකය ගැන පුරෝකථනයක්

එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපීය ආර්ථික හා සමාජ කොමිසමේ (ESCAP) නවතම පුරෝකථනයට අනුව, ඉන්දියාවේ ආර්ථිකය 2026 වසරේදී සියයට 6.4 කින් සහ 2027 වසරේදී සියයට 6.6 කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

පසුගිය දා නිකුත් කරන ලද "ආසියා සහ පැසිෆික් කලාපීය ආර්ථික හා සමාජ සමීක්ෂණය 2026" වාර්තාව මගින් පෙන්වා දෙන්නේ දකුණු සහ නිරිතදිග ආසියාවේ ආර්ථික වර්ධනය 2024 වසරේ පැවති සියයට 5.2 සිට 2025 වසරේදී සියයට 5.4 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ සඳහා ඉන්දියාවෙන් ලැබුණු දායකත්වය බෙහෙවින් වැදගත් වී තිබුණා.

ශක්තිමත් පාරිභෝගික ඉල්ලුම (විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවලින්), භාණ්ඩ හා සේවා බදු (GST) අනුපාත අඩු කිරීම සහ ඇමරිකානු තීරුබදු පැනවීමට පෙර අපනයනවල සිදු වූ ශීඝ්‍ර වර්ධනය හේතුවෙන් 2025 වසරේදී ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනය සියයට 7.4 දක්වා ඉහළ ගිය බව එම වාර්තාවේ සඳහන්.

කෙසේ වෙතත්, 2025 අගෝස්තු මාසයේදී පැනවූ සියයට 50 ක තීරුබදු හේතුවෙන් ඇමරිකාවට සිදුකරන අපනයන සියයට 25 කින් පහත වැටීම නිසා වසරේ දෙවන භාගයේදී එම වර්ධන වේගය මන්දගාමී වුණා.

එසේ වුවද, සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් පවත්වා ගැනීමට සේවා අංශය දිගින් දිගටම දායකත්වය ලබා දී තිබෙනවා.

මීට අමතරව, උද්ධමනය පාලනය වී පවතිනු ඇතැයි අපේක්ෂා කරන ESCAP ආයතනය, එය 2026 වසරේදී සියයට 4.4 ක් සහ 2027 වසරේදී සියයට 4.3 ක් වනු ඇතැයි පුරෝකථනය කරන අතර මෙයින් පෙන්නුම් කරන්නේ මිල මට්ටම් සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතිනු ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes