General06 May 2026

ඉනාමළුව ග්‍රාමීය බැංකුවේ සේප්පුව කඩා රන් පවුම් 20ක් සහ ලක්ෂ තුනක් කොල්ල කාලා

රංගිරි දඹුල්ල විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ඉනාමළුව ග්‍රාමීය බැංකුවේ සේප්පුව කඩා, එහි තිබූ රන් පවුම් විස්සක් සහ රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසකට අධික මුදලක් සොරාගෙන ගොස් ඇති බව සීගිරිය පොලිසිය පවසනවා.

පසුගිය 01 වැනිදා රාත්‍රියේ බැංකුවේ දොරවල් කඩා ඇතුළු වී ඇති සොරුන්, ස්වයංක්‍රීය කැපුම් යන්ත්‍ර (Grinders) යොදාගෙන එහි සවිකර තිබූ සේප්පුව කපා මෙම සොරකම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

මහජනතාව උකසට තැබූ රන් භාණ්ඩ සහ බැංකුවේ තැන්පත් කර තිබූ මුදල් මෙලෙස සොරාගෙන ඇතැයි වාර්තා වෙනවා.

මෙම බැංකු ශාඛාව සඳහා ආරක්ෂක මුරකරුවෙකු යොදවා නොතිබීම සහ එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා (CCTV) පද්ධතිය සොරකම සිදුවූ දින කිහිපයේ අක්‍රියව තිබීම පිළිබඳව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මූල්‍ය ආයතනවල ආරක්ෂාව තර කරන ලෙස ප්‍රාදේශීය ආරක්ෂක කමිටු රැස්වීම්වලදී බැංකු බලධාරීන් නිරන්තරයෙන් දැනුවත් කර තිබියදීත්, මෙවැනි අනාරක්ෂිත තත්ත්වයක් පැවතීම පිළිබඳව කණගාටු වන බව පොලිසිය සඳහන් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
Related recommendation
Hiru TV News | Programmes