International07 May 2026

තෝරාගත් අමෙරිකානු iPhone පරිශීලකයින් පිරිසකට ඩොලර් මිලියන 250ක වන්දියක්

නව කෘත්‍රිම බුද්ධි (AI) විශේෂාංග සහ හැකියාවන් පිළිබඳව ජනතාව නොමඟ යැවූ බවට එල්ල වූ චෝදනා සහිත නඩුවක් අවසන් කිරීම සඳහා, තෝරාගත් iPhone ගැනුම්කරුවන්ට සමූහ වශයෙන් ඩොලර් මිලියන 250ක වන්දියක් ගෙවීමට ඇපල් (Apple) සමාගම එකඟ වී තිබෙනවා.

ඇපල් සමාගම කිසිදු වරදක් පිළිගෙන නැතත්, පසුගිය වසරේ ගොනු කරන ලද විශාල ඒකාබද්ධ සමූහ නඩුවක හිමිකම් විසඳීම සඳහා මෙම ගිවිසුමට එකඟ වී ඇති අබ්වයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙම නඩුව මගින් ඇපල් සමාගමට චෝදනා එල්ල වූයේ, ඔවුන්ගේ 'Siri' හඬ සහායකයා වැඩි දියුණු කිරීම ඇතුළු "Apple Intelligence" ලෙස හැඳින්වූ iPhone හි AI විශේෂාංග පිළිබඳව අසත්‍ය ප්‍රචාරණයන් සිදු කළ බවටයි.

ඒ අනුව, 2024 ජූනි සහ 2025 මාර්තු අතර කාලය තුළ අමෙරිකාවේදී iPhone 15 සහ iPhone 16 මිලදී ගත් පුද්ගලයින්ට ඇපල් සමාගම ඩොලර් 25ත් 95ත් අතර මුදලක් ගෙවනු ඇති.

ඇපල් සමාගමේ ප්‍රකාශිකාවක් පවසා ඇත්තේ, මෙම නඩුව අවධානය යොමු කර ඇත්තේ ඔවුන්ගේ Apple Intelligence ව්‍යාපෘතිය යටතේ නිකුත් කරන ලද බොහෝ විශේෂාංග අතරින් අමතර විශේෂාංග දෙකක් ලබා දීම පිළිබඳව පමණක් බවයි.

"අපගේ පරිශීලකයින්ට වඩාත් නව්‍ය නිෂ්පාදන සහ සේවාවන් ලබා දීම කෙරෙහි දිගටම අවධානය යොමු කිරීම සඳහා අපි මෙම කරුණ විසඳා ගත්තෙමු," යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළා.

පසුගිය සතියේ ඉදිරිපත් කරන ලද සංශෝධිත පැමිණිල්ලේ නීතිඥයින් කියා ඇත්තේ, නව AI විශේෂාංග පිළිබඳ ඇපල් සමාගමේ අලෙවිකරණ ප්‍රයත්නයන් අසත්‍ය ප්‍රචාරණයට සමාන වන බවයි.

"ඇපල් සමාගම එම අවස්ථාවේ නොතිබූ, දැනුත් නොමැති, සහ තවත් වසර දෙකක් හෝ ඊට වැඩි කාලයක් යනතුරු (ඇතැම්විට කිසිදාක) බිහි නොවන AI හැකියාවන් ප්‍රවර්ධනය කළා. ඔවුන් මේවා හැඳින්වූයේ සුවිශේෂී නව සොයාගැනීම් ලෙසයි," යනුවෙන් නීතිඥයින් සඳහන් කර තිබෙනවා.

OpenAI සහ Anthropic වැනි නව සමාගම් විසින් මෙහෙයවනු ලබන තාක්ෂණික තරගයේදී අනෙකුත් දැවැන්ත සමාගම් සමග කරට කර සිටීමේ උත්සාහයක් ලෙස ඇපල් සමාගම මෙම AI ව්‍යාපාරය දියත් කළ බවයි ඔවුහු වැඩිදුරටත් පැවසූවේ.

ධුරයෙන් ඉවත්ව යන ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් (Tim Cook) ද වසර ගණනාවක් පුරා ඇපල් නිෂ්පාදන සම්බන්ධයෙන් ප්‍රමාණවත් තරම් නව්‍යකරණයක් සිදු නොකිරීම පිළිබඳව විවේචනයට ලක් වුණා.

එමෙන්ම 'Siri' හඬ සහායකයා සීමිත සේවාවක සිට පූර්ණ කෘත්‍රිම බුද්ධි සහායකයෙකු (personal AI assistant) දක්වා පරිවර්තනය කරන බවට ඇපල් සමාගම ලබා දුන් පොරොන්දුව අසත්‍ය බවට මෙහිදී චෝදනා එල්ල වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes