General07 May 2026

වීසා නොමැතිව රැඳී සිටි 73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මත්ද්‍රව්‍ය එක්ක STF දැලේ

මත්ද්‍රව්‍ය තොගයක් සන්තකයේ තබාගෙන, වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඊයේ (06) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව, ඊයේ (මැයි 06) දින හබරාදුව පොලිස් වසමේ උනවටුන, දැලවැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නවාතැන්පොළකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පරීක්ෂා කිරීමේදී කොකේන් ග්‍රෑම් 280 මිලි ග්‍රෑම් 150, හෑෂ්: ග්‍රෑම් 10ක්, හඳුනා නොගත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40ක් සහ විවිධ රටවලට අයත් විදේශ මුදල් නෝට්ටු රාශියක් අත්අඩංගුවට ගත් බවයි ‍පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 73 හැවිරිදි වියේ පසුවන එංගලන්ත ජාතිකයෙක්.

මොහු සන්තකයේ වලංගු විදේශ ගමන් බලපත්‍රයක් හෝ මෙරට රැඳී සිටීම සඳහා අවශ්‍ය වීසා බලපත්‍රයක් නොතිබූ බව වැටලීම සිදුකළ නිලධාරීන් තහවුරු කර ගෙන තිබුණා.
විශේෂ කාර්ය බලකායේ මූලස්ථාන කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා හබරාදුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

සැකකරු අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes