General18 May 2026

දන්සල්වල බෞද්ධ කොඩි භාවිතය තහනම්: ඒ සඳහා කහ පැහැති කොඩි පමණයි

දන්සල් පැවැත්වීමේදී ජනතාව ඒ සඳහා යොමුකරවීමට බෞද්ධ කොඩි භාවිතා නොකොට ඒ සඳහා කහ පැහැති කොඩි භාවිත කළයුතු බව බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන) අසේල මධුසංඛ පවසනවා.

රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳව දැනුම්වත් කිරීමට අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

ඊට අදාල චක්‍රලේඛය අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත නිකුත් කර ඇතැයිද ඔහු පැවසුවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අසේල මධුසංඛ,

"දන්සල් පැවැත්වීම සම්බන්ධයෙන් අපි මේ වෙනකොට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොඩිය භාවිතා නොකොට ඒ සඳහා කහ පැහැති කොඩියක් භාවිත කරන්න කියලා. අමාත්‍ය මණ්ඩල අනුමැතියක් එක්ක මේ වෙනකොට චක්‍රලේඛනයක් නිකුත් කරලා තිබෙනවා. සියලුම දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරු දැනුම්වත් කරලා තිබෙනවා. ඒ වගේම සියලුම සාසන ආරක්ෂණමණ්ඩල ස්වාමීන් වහන්සේලා සහ පොලිස්පති දැනුම්වත් කරලා තිබෙනවා. විශේෂයෙන් දන්සල් පමණක් නොවේ සමහර නොගැලපෙන පූජාවන්වලට නොගැලපෙන කරුණු නියාමනය කිරීමටත් එම චක්‍රලේඛනයෙන් උපදෙස් දී තිබෙනවා.''
Related recommendation
Hiru TV News | Programmes