General06 June 2026

පුංචි ඡන්දෙන් බයවෙලා පළාත් සභා මැතිවරණය කල් දානවා - විපක්ෂ නායක

පළාත් පාලන මැතිවරණ‍ ප්‍රතිඵලවලින් බියට පත්ව සිටින වත්මන් රජය, පළාත් සභා මැතිවරණය පැවැත්වීම හිතාමතාම කල් දමමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අද (06) විපක්ෂ නායක කාර්යාලයේදී හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සමග පැවැති විශේෂ හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

මෙම හමුව සංවිධානය කර තිබුණේ ‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු’ යන තේමාව පෙරදැරි කරගෙනයි.

මහමැතිවරණයෙන් පසුව පැවැති කෙටි කාලය තුළ වත්මන් රජයට දළ වශයෙන් ඡන්ද ලක්ෂ 23ක් පමණ අහිමි වී ඇති බව විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නා.

"අද වන විට අප රටේ ඇත්තේ ජනතාව අතරට යන්නට බය වෙලා සිටින ජනාධිපතිවරයෙක් සහ බියගුලු, නිවට ආණ්ඩුවක්. තවත් ඡන්ද දශලක්ෂ ගණනින් අහිමි වේවි කියන බිය නිසා ඔවුන් ජනතාව ඉදිරියට පැමිණ මැතිවරණයකට මුහුණ දීමට මැළිකමක් දක්වනවා." යැයිද ඔහු පැවසුවා.

ජනතාවගේ පීඩනයට සහ අසහනයට පිළිතුරු දීමට ජනතාව සූදානමින් සිටින බැවින්, රජයට පාඩමක් ඉගැන්වීම සඳහා ඇති හොඳම ක්‍රමය පළාත් සභා ඡන්දය බවයි ඔහු සඳහන් කළේ.

ඉදිරියට පැමිණෙන මැතිවරණවලදී රැල්ලට ගොස් ඡන්දය දීම වෙනුවට ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව පැවසූ සජිත් ප්‍රේමදාස, ඕනෑම පාර්ශ්වයකට ලබා දිය යුත්තේ සාධාරණ බහුතරයක බලයක් පමණක් බව අවධාරණය කළා.

විදුලි බිල 33%කින් අඩු කිරීමට සහ වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවටද මෙහිදී චෝදනා එල්ල වුණා. ජන දුක විකුණා බලයට පැමිණි වත්මන් පාලකයන් අද වන විට ජනතාව අමතක කර ඔවුන්ගේ පෞද්ගලික සුබසාධනය වෙනුවෙන් පමණක් කැපවී සිටින බවයි ඔහු කියා සිටියේ.

පළාත් සභා මැතිවරණය වහාම පවත්වන ලෙස රජයට බල කිරීම සඳහා සමගි ජන බලවේගය හරහා 'පළාත් සභා ජාතික මෙහෙයුම් කමිටුවක්' ස්ථාපිත කරන බව විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර පළාත් සභා යනු "සුදු අලි" යැයි පවසන්නේ දේශපාලන සාක්ෂරතාවක් නැති අය බවත්, නිසි ලෙස ක්‍රියාත්මක වුවහොත් පළාත් සභා හරහා විශාල සේවාවක් මෙන්ම ජාත්‍යන්තර ආයෝජන පවා ආකර්ෂණය කරගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නා.

පළාත් සභා ක්‍රමය රටේ උත්තරීතර නීතියක් බැවින් තමන් කිසිවිටෙකත් '13 ප්ලස්' හෝ '13 මයිනස්' වැනි දෙබිඩි කතා නොකියන බවද සජිත් ප්‍රේමදාස පැවසුවා.
Related recommendation
Hiru TV News | Programmes