International07 June 2026

අමෙරිකාවේ සැණකෙළියක් ළඟ වෙඩි තැබීමක්: 12කට තුවාල

අමෙරිකා එක්සත් ජනපදයේ ඔහියෝ (Ohio) ප්‍රාන්තයේ ටොලිඩෝ (Toledo) නගරයේ පැවැති සාම්ප්‍රදායික ගිම්හාන වීදි සැණකෙළියක් අසල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.

නගරයේ ඓතිහාසික කලාපයක පැවැත්වෙමින් තිබූ "ඕල්ඩ් වෙස්ට් එන්ඩ්" (Old West End) නමැති මෙම ගිම්හාන සැණකෙළිය අතරතුර, සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු එකිනෙකා ඉලක්ක කරගනිමින් එල්ල කළ වෙඩි ප්‍රහාර හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සැක කරනවා.

ටොලිඩෝ නගරයේ නියෝජ්‍ය පොලිස් ප්‍රධානී ජෝ හෙෆර්නන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ තුවාල ලැබූවන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.

සැකකරුවන් දෙදෙනා "එකිනෙකා දෙසට" වෙඩි තබාගෙන ඇති බවත්, එහිදී සැණකෙළියට පැමිණ සිටි පිරිස එම වෙඩි ප්‍රහාරවලට ලක්ව ඇති බවත් මූලික විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් වයස අවුරුදු 14ත් 61ත් අතර පසුවන්නන් බව වාර්තා වනවා.

ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes