General15 June 2026

දුම්කොළ භාවිතයෙන් ජනතාව මුදාගැනීමේ විශේෂ වැඩමුළුවක් අද කොළඹ දී;

දෙවැන්න හෙට පිළියන්දල දී

දුම්කොළ හා දුම්කොළ නිෂ්පාදන භාවිතයට යොමුවීම වැළැක්වීම සහ දැනට භාවිත කරන්නන් ඉන් මුදා ගැනීම සඳහා "කෙටිකාලීන මැදිහත්වීම" මනෝ විද්‍යාත්මක ප්‍රවේශය සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල බලගැන්වීමේ පුහුණු වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම පවසනවා.

මෙම විශේෂ වැඩමුළු මාලාවේ පළමු වැන්න අද (15) පෙරවරුවේ කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන බවයි ඇය පැවසුවේ.

මෙහි ප්‍රධාන සම්පත් දායකයා ලෙස මනෝ වෛද්‍ය විශේෂඥ ප්‍රභාත් වික්‍රම ඊට එක්වෙනු ඇති.

විනාඩි කීපයක් තුළ දුම්කොළ භාවිතයේ හානිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු දැනුවත් කර, ඔහු හෝ ඇය තුළ දුම්කොළ භාවිතය පිටුදකින චර්යාත්මක වෙනසක් සිදු කිරීමේ හැකියාව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබා දීමේ මනෝ විද්‍යාත්මක ප්‍රවේශයක් ලෙස මෙම පුහුණුව හැඳින්විය හැකි බව බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂවරිය සඳහන් කළා.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් ඇතුළු ක්ෂේත්‍ර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙම පුහුණු වැඩසටහන සඳහා එක් වෙනු ඇති.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය, මනෝ වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය, මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) සහ කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ඒකාබද්ධව මෙම පුහුණු වැඩමුළුව සංවිධානය කර තිබෙනවා.

මෙම වැඩමුළු මාලාවේ දෙවැනි වැඩමුළුව හෙට (16) පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes