International15 June 2026

බංග්ලාදේශයේ හින්දු සුළුතරයට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ කප්පම් ගැනීම් ගැන මානව හිමිකම් සංවිධානවල දැඩි කනස්සල්ල

බංග්ලාදේශය පුරා සිදුවන වාර්ගික ප්‍රචණ්ඩත්වයන් සහ කප්පම් ගැනීම් සම්බන්ධයෙන්, විශේෂයෙන්ම එරට හින්දු සුළුතර ප්‍රජාව ඉලක්ක කර ගනිමින් සිදුවන සිදුවීම් පිළිබඳව ප්‍රමුඛ පෙළේ සුළුතර මානව හිමිකම් සංවිධානයක් සිය දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

ගයිබන්දා දිස්ත්‍රික්කයේ පිහිටි රාධා-ගෝබින්ද දේවාලය විනාශ කරන බවට සංවිධානාත්මක කණ්ඩායමක් විසින් දිගින් දිගටම සිදුකරන තර්ජන එරට ආගමික වෙනස්කොටස්වලට එරෙහිව ක්‍රියා කරන මානව හිමිකම් සංවිධානයක් වන බංග්ලාදේශ හින්දු බෞද්ධ ක්‍රිස්තියානි එකමුතු කවුන්සිලය විසින් දැඩි ලෙස හෙළා දැක ඇති බවයි වාර්තා වෙන්නේ.

එවැනි වර්ධනයන් රට පුරා පවතින වාර්ගික සමගියට බරපතළ ලෙස බාධා කළ හැකි බවටද ඔවුහු අනතුරු අඟවන්නේ.

ඩකා නුවරදී පැවැති එම කවුන්සිලයේ මධ්‍යම කාරක සභා රැස්වීමකදී, මෙම ප්‍රචණ්ඩ ක්‍රියා වහාම නතර කිරීමට කඩිනම් සහ ඵලදායී පියවර ගන්නා ලෙස එහි සාමාජිකයෝ බංග්ලාදේශ රජයෙන් දැඩි ලෙස ඉල්ලා සිටියා.

"මේ සම්බන්ධයෙන්, වාර්ගික සාමය සහ සමගිය ආරක්ෂා කිරීම සඳහා කඩිනම් සහ සුදුසු පියවර ගන්නා ලෙස මෙම රැස්වීම රජයෙන්, පරිපාලනයෙන්, සිවිල් සමාජයෙන් මෙන්ම ප්‍රාදේශීය සහ ජාතික මට්ටමේ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. තවද, වාර්ගික වෛරය සහ ප්‍රකෝප කිරීම් සිදුකරන පුද්ගලයන් නීතිය හමුවට පමුණුවා ඔවුන්ට දැඩි දඬුවම් පමුණුවන ලෙසද මෙම රැස්වීමේදී වැඩිදුරටත් ඉල්ලා සිටියා," යැයි එම සංවිධානය සඳහන් කළා.

මේ අතර, ගයිබන්දා හි පලාෂ්බාරි උපජිලා හි පිහිටි ශ්‍රී ශ්‍රී රාධා ගෝවින්ද සහ කාලි දේවාල පරිශ්‍රයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ, ලොව විශාලතම රාම් දෙවිඳුන්ගේ ප්‍රතිමාවේ ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට බංග්ලාදේශ බලධාරීන් නියෝග කර ඇති බව දේශීය මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය බ්‍රහස්පතින්දා සවස දේවාල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී දේවාල උපදේශක ශ්‍යාමල් කුමාර් මහන්ත් විසින් මෙම නිවේදනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මෙම තීරණයත් සමඟ සමාජය තුළ දැඩි කතාබහක් සහ ප්‍රතිචාර රැල්ලක් මතු වී ඇති අතර, විචාරකයන් චෝදනා කරන්නේ මෙම ව්‍යාපෘතියට විරුද්ධ වූ ඉස්ලාමීය කණ්ඩායම්වල දැඩි බලපෑම් හමුවේ මෙම ඉදිකිරීම් අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි.


Related recommendation
Hiru TV News | Programmes