General16 June 2026

"මැතිවරණ වේදිකාවේ සුන්දර කතන්දර දැන්වත් ප්‍රායෝගිකව කර පෙන්වන්න" : ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය දා ප්‍රොටෙක්ට් සංගමයෙන් විශේෂ නිවේදනයක්

ලෝකය පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත ගෘහ සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නඟන "ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය" අදට (16) යෙදී තිබෙනවා.

ගෘහ සේවය ගරුත්වයක් සහිත රැකියාවක් බවට පත් කිරීම උදෙසා ජිනීවා නුවරදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ C189 සම්මුතිය සම්මත වී අදට හරියටම වසර 15ක් සපිරුණද, ශ්‍රී ලංකාවේ ගෘහ සේවකයන්ගේ තත්ත්වය තවමත් අතිශය ඛේදනීය මට්ටමක පවතින බව ප්‍රොටෙක්ට් සංගමය (PROTECT Union) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ C189 සම්මුතිය මඟින් ගෘහ සේවකයන්ට නිශ්චිත වැඩ කරන වේලාවන්, සාධාරණ වැටුප් ව්‍යුහයක්, පඩි සහිත නිවාඩු සහ EPF/ETF වැනි සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන් හිමිවිය යුතු බව සහතික කර තිබෙනවා.

ලොව බොහෝ රටවල් මෙම සම්මුතිය තමන්ගේ නීති පද්ධතියට ඇතුළත් කර ගත්තද, 2011 වසරේ සිට මේ දක්වා ලංකාවේ බලයට පත් වූ කිසිදු පාලකයකු හෝ කම්කරු අමාත්‍යාංශය එය මෙරට නීතියක් බවට පත් කිරීමට සමත් වී නැති බව එම සංගමය පෙන්වා දෙනවා.

පවතින EPF සහ ETF පනත්වලින් මෙන්ම 2016 අංක 3 දරණ සේවකයන්ගේ ජාතික අවම වේතන පනතින්ද ගෘහ සේවකයන්ව සිතාමතාම බැහැර කර ඇති බවත්, මේ හේතුවෙන් ඔවුන්ට අවම වැටුප්, නිශ්චිත සේවා මුරයන් හෝ පඩි සහිත නිවාඩු අහිමි වී ඇති අතර, මහලු වූ පසු කිසිදු හව්හරණක් නොමැතිව අසරණ වීමට සිදුව ඇති බවයි එම සංගමය පවසන්නේ.

"අපට දැන් අවශ්‍ය කරන්නේ මැතිවරණ වේදිකාවල කියූ සුන්දර කතන්දර නොව, ඒවා ප්‍රායෝගිකව කර පෙන්වීමයි. වත්මන් NPP ආණ්ඩුව සැබවින්ම ජනතා හිතවාදී, කම්කරුවන් ගැන හිතන ආණ්ඩුවක් බවත්, ජනාධිපතිවරයා එදා පැවසුවේ බොරු නොවන බවත් ඔප්පු කිරීමට නම්, දැනට සාකච්ඡා වෙමින් පවතින කම්කරු නීති සංශෝධනය තුළට ගෘහ සේවකයන් ඇතුළත් කර පෙන්විය යුතුය." යනුවෙන් ඔවුන් සඳහන් කරනවා.

ගෘහ සේවකයන් සඳහා කම්කරු නීති සකස් කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති බවත්, එය කමිටුවකට යොමු කර ඇති බවත් නියෝජ්‍ය ඇමතිවරයා අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර ඇතත්, එම පොරොන්දු නිතරම බොරු වී ඇති බැවින් ගෘහ සේවකයන් මෙම කතා විශ්වාස කරන්නේ එය යථාර්ථයක් වූ විට පමණක් බවද එම නිවේදනයේ සඳහන්.

අතීතයේ සිටම පාලකයන් තමන්ගේ වාසිය වෙනුවෙන් ගෘහ සේවකයන් ආරක්ෂා කරන නීති සැකසීම හිතාමතාම පැහැර හැර ඇති බව චෝදනා කරන ප්‍රොටෙක්ට් සංගමය, බාල වයස්කාර ගෘහ සේවිකාවන් ලෙස සේවය කරමින් සිටියදී මියගිය හිශාලනි, රමණි මෙන්ම වැලිකඩ පොලිසියේ පහරදීමෙන් මියගිය R. රාජකුමාරි වැනි සහෝදරියන්ගේ මරණවලට තවමත් සාධාරණයක් ඉටු වී නොමැති බවද අවධාරණය කරනවා.
Related recommendation
Hiru TV News | Programmes