International16 June 2026

කඩා වැටුණු අමෙරිකානු B-52 යානයේ ගමන් කළ සියල්ලෝම ජීවිතක්ෂයට

දකුණු කැලිෆෝනියාවේ මොජාවි කාන්තාරයේ පිහිටි එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරෙන් (Edwards Air Force Base) ගුවන්ගත වීමේදී ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් B-52 ස්ට්‍රැටෝෆෝට්‍රස් (B-52 Stratofortress) වර්ගයේ බෝම්බ හෙලන යානයක් කඩා වැටී ගිනි ගැනීමෙන් එහි සිටි පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගුවන් හමුදා නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, න්‍යෂ්ටික සහ සාම්ප්‍රදායික බෝම්බ රැගෙන යා හැකි පරිදි නිපදවා ඇති මෙම එන්ජින් අටේ ප්‍රහාරක යානය, ධාවන පථයෙන් ගුවන්ගත වූ සැනින්ම මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

යානයේ ගමන් කළ පුද්ගලයින් 8 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන් රජයේ සිවිල් නිලධාරීන්, කොන්ත්‍රාත්කරුවන් සහ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත මිශ්‍ර කණ්ඩායමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යානය රේඩාර් නවීකරණ වැඩසටහනකට අදාළ සාමාන්‍ය පරීක්ෂණ පියාසර කිරීමක් සඳහා සූදානම් වෙමින් තිබී ඇති අතර, අනතුර සිදුවූ ස්ථානයේ ගුවන් දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු, ගුවන් හමුදා කර්නල් ජේම්ස් හේස් ප්‍රකාශ කර ඇත්තේ, යානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, කිසිවෙකුටවත් දිවි බේරා ගැනීමට අවස්ථාවක් ලැබී නොමැති බවයි.

මූලාශ්‍රය - රොයිටර්ස්
Related recommendation
Hiru TV News | Programmes