General16 June 2026

ඩොලර් උස්සන හැකර්ලාට අලුතින් නීති

කූට උපක්‍රම මඟින් මෙරටින් අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් විදේශගත කිරීම පාලනය කිරීම සඳහා රජය විසින් ඉදිරියේදී නව නීතිමය පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

මේ හරහා නීති විරෝධී ලෙස මුදල් විශුද්ධිකරණයේ යෙදෙන ජාවාරම්කරුවන් මැඩපැවැත්වීමට අපේක්ෂා කෙරේ. 

පසුගිය වකවානුව තුළ ආනයන කටයුතු සඳහා මුදල් ගෙවන බව පෙන්වමින් අමෙරිකානු ඩොලර් මිලියන 85ක මුදලක් මෙරටින් පිටත් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එක්තරා ව්‍යාපාරික ආයතනයක් විසින් අවස්ථා 953කදී රුපියල් බිලියන 12.89ක මුදලක් විවිධ රටවල් 26ක පිහිටි සමාගම් 256ක් වෙත බැර කර ඇති බවද අමාත්‍යවරයා අනාවරණය කළා.

තවත් ආයතනයක් විසින් බැංකු ගිණුම් 04 ක් උපයෝගී කරගනිමින් රුපියල් බිලියන 13කට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් බැහැර කර ඇති බවද ඔහු සඳහන් කළා.

ඔවුන් එම මුදල් යොදවා ඇත්තේ රන් ආභරණ සහ යකඩ බඩු වැනි දෑ මිලදී ගත් බව ව්‍යාජ ලෙස පෙන්වමින්.

මෙවැනි මූල්‍ය අපරාධ ඉදිරියටත් සිදු වීම වැළැක්වීම සඳහා 2017 වසරේ පනවන්නට යෙදුණු අංක 12 දරන විදේශ විනිමය පනතෙහි පවතින දුර්වලතා මඟහැරවිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

විශේෂයෙන්ම 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ ඇතුළත් වැදගත් රෙගුලාසි කිහිපයක් 2017 වසරේදී ඉවත් කර තිබීම මෙයට හේතුවක් වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ වන විටත් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් අතර මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා ඉදිරි කටයුතු සැලසුම් කර ඇති බවයි අමාත්‍ය විජේපාල වැඩිදුරටත් පවසා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes