International10 July 2026

ඉරානයේ නව උත්තරීතර නායක කමෙනී පුත්‍රයා තවමත් සැඟවෙලා: තුවාල වී ඇති බවටත් වාර්තා

පසුගිය පෙබරවාරි 28 වැනිදා එල්ල වූ අමෙරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූ ඉරානයේ උත්තරීතර නායක ආයතුල්ලා අලි කමේනි (Ayatollah Ali Khamenei)ගේ මරණයෙන් සතියකට පසු, එනම් මාර්තු මාසයේදී ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් කරන ලද කමේනිගේ පුත් මොජ්තබා කමේනි (Mojtaba Khamenei) තවමත් ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැත.

ජාත්‍යන්තර වාර්තාවලට අනුව, පියා මියගිය පෙබරවාරි 28 ප්‍රහාරයෙන් මොජ්තබා ද දැඩි ලෙස තුවාල ලබා ඇති අතර, ඔහුගේ මුහුණට සහ අත්පාවලට බරපතළ හානි සිදුවී තිබෙනවා.

ඔහු මේ වන විට සුවය ලබමින් සිටින නමුත් ප්‍රසිද්ධියේ පෙනී සිටීමට තරම් සෞඛ්‍ය තත්ත්වයක් නොමැති බවත්, තවත් අමෙරිකානු ප්‍රහාරයක් එල්ල වීමේ අවදානම මත ආරක්ෂක අංශ ඔහුව දැඩි රහසිගත ස්ථානයක රඳවා තබා ඇති බවත් වාර්තා වෙනවා.

1989 වසරේ සිට වසර 37ක් පුරා ඉරානය පාලනය කළ ආයතුල්ලා අලි කමේනිගේ අභාවය ඉරානයට තීරණාත්මක සන්ධිස්ථානයක්.

ඔහුගේ පාලන කාලය තුළ දේශපාලන, ආර්ථික සහ මිලිටරි බලය තනි ඒකාධිකාරයක් ලෙස ගොඩනැඟූ අතර, එය රට තුළ දැඩි මතභේදයට ලක්වුණා.

විශේෂයෙන්ම මෑත මාස කිහිපය තුළ ආර්ථික බිඳවැටීම්වලට එරෙහිව රට තුළ හටගත් දැවැන්ත මහජන විරෝධතා ආරක්ෂක අංශ ලවා දරුණු ලෙස මර්දනය කිරීමට ඔහු පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත්, නව නායක මොජ්තබා කමේනි පත් කර ඇත්තේ ඉරානයේ බලගතු 'ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ' (IRGC) පූර්ණ අනුග්‍රහය ඇතිව බැවින්, ඉදිරියටත් ඉරානයේ උපායමාර්ගික බලය එම බලකාය සතු වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසනවා.
Related recommendation
Hiru TV News | Programmes