International15 August 2026

ඉන්දුනීසියාවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් දෙදෙනෙකු මරුට

ඉන්දුනීසියාවේ ෆ්ලොරස් දූපත ආසන්න මුහුදේ සිදුවූ රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කර ඇත්තේ, මෙම භූ කම්පනයේ කේන්ද්‍රය නැගෙනහිර නුසා ටෙන්ගාරා පළාතේ එන්ඩේ නගරයට කිලෝමීටර් 68ක් පමණ උතුරු-වයඹ දෙසින් පිහිටා ඇති බවයි.

භූ කම්පනය කිලෝමීටර් 10ක් පමණ ගැඹුරකින් සිදුව ඇති අතර, ඉන් පසු පැය භාගයක් තුළ රික්ටර් මාපක 5.9, 5.6 සහ 6.1ක පසුකම්පන තුනක් ද වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඉන්දුනීසියානු ජාතික ආපදා කළමනාකරණ ඒජන්සිය (BNPB) සඳහන් කර තිබෙන්නේ, මියගිය දෙදෙනා පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් වන අතර, ඔවුන් මවුමරේ වරාය ප්‍රදේශයේදී මියගොස් ඇති බවයි.

භූ කම්පනයෙන් ගොඩනැගිලි ඇතුළු දේපළවලට සැලකිය යුතු හානි සිදුව ඇති අතර, මවුමරේ ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ද වාර්තා වෙනවා.

භූ කම්පනයෙන් පසු ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා, දේශගුණ විද්‍යා හා භූ භෞතික විද්‍යා ඒජන්සිය (BMKG) සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම වෙරළ තීර සහ ගංගා ආශ්‍රිත ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂිත උස්බිම් වෙත යන ලෙස ජනතාවට දැනුම් දී ඇති බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes