Sports02 July 2026

සෙංගාලය පරදා බෙල්ජියමට ජය

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 32 වටයේ තරගයක් ලෙස අද (02) පැවැති තීරණාත්මක තරගයකින් සෙංගාලය පරදා බෙල්ජියම ජයග්‍රහණය හිමිකර ගත්තා.

ඒ තරගයේ අතිරේක කාලය තුළ ගෝල 3-2ක් ලෙස තියුණු ජයක් වාර්තා කරමින් මීළඟ වටයට සුදුසුකම් ලැබීමටයි බෙල්ජියම් කණ්ඩායම සමත් වුණේ.

මෙම ජයග්‍රහණයත් සමඟ ඔවුන් තරගාවලියේ මීළඟ වටය (Round of 16) සඳහා සුදුසුකම් ලබා ගත්තා.

සෙංගාලය වෙනුවෙන් Habib Diarra 24 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කළ අතර Ismaïla Sarr 51 වැනි මිනිත්තුවේදී දෙවැනි ගෝලය ලබා ගත්තා.

කෙසේ වෙතත් උත්සාහය අත් නොහැරි බෙල්ජියම පිළත් දැඩි සටනක් නිරත වෙමින් සිටියදී Romelu Lukaku විසින් 86 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුණා.

අනතුරුව Youri Tielemans විසින් 89 වැනි මිනිත්තුවේදී ලබා ගත් ගෝලයත් සමග දෙපිලේ ගෝල ප්‍රමාණය සමකර ගැනීමට සමත් වුණා.

නියමිත මිනිත්තු 90 අවසානයේ කණ්ඩායම් දෙකම ගෝල 2-2ක් ලෙස සමව සිටීම හේතුවෙන් ජයග්‍රාහී පිළ තීරණය කිරීම සඳහා මිනිත්තු 30ක අතිරේක කාලයක් ලබා දීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

අතිරේක කාලය තුළදී ද කණ්ඩායම් දෙකම දැඩි සටනක නිරත වූ බැවින් තරගයේ ජයග්‍රහණය දඬුවම් පහර මඟින් තීරණය වනු ඇතැයි අපේක්ෂා කෙරුණා.

කෙසේ වෙතත්, අතිරේක කාලයේ ලබා දුන් අතිරේක කාලය අතරතුර එනම් 120+5 වැනි මිනිත්තුවේදී බෙල්ජියම් කණ්ඩායමට හිමි වූ අනගි දඬුවම් පහර (Penalty) අවස්ථාව ඉතා නිවැරදිව ගෝලයක් බවට පත් කිරීමට යූරි ටියේලමන්ස් සමත් වුණා.

ඒ සමඟින් බෙල්ජියම ගෝල 3-2ක තියුණු ජයග්‍රහණයක් තහවුරු කරගත්තා.

අනතුරුව අමෙරිකා එක්සත් ජනපදය සහ බොස්නියාව අතර තරගය අද (02) පෙරවරු 5:30ට ආරම්භ වීමට නියමිතයි.
Related Recomands
Hiru TV News | Programmes