International01 May 2026

ඉරාන යුද්ධයෙන් එල්ල වූ බලපෑම් ගැන පාකිස්ථාන අගමැති හෙළි කරයි

පවතින එක්සත් ජනපද-ඉරාන ගැටුම හේතුවෙන් පාකිස්ථානයේ තෙල් ආනයන වියදම ඩොලර් මිලියන 800 දක්වා ඉහළ ගොස් ඇති බව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම යුද්ධය හේතුවෙන් එරට මෑතකදී ලබාගත් ආර්ථික ජයග්‍රහණ සැලකිය යුතු ලෙස ආපස්සට ගොස් ඇති බවට ද ඔහු අනතුරු ඇඟවා ඇති බව සඳහන්.

කැබිනට් රැස්වීමක් අමතමින් ෂරීෆ් පැවසුවේ, තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම පාකිස්ථාන ආර්ථිකයට අලුතින් පීඩනයක් එල්ල කර ඇති බවයි.

"සතියකට පෙර අපේ බිල්පත ඩොලර් මිලියන 300ක් වූයේ නම්, අද එය ඩොලර් මිලියන 800 දක්වා ළඟා වී තිබෙනවා," යැයි ෂරීෆ් අමාත්‍යවරුන්ට පැවසූ බව TOI පුවත් සේවය වාර්තා කරනවා.

පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ පෙට්‍රෝලියම් පරිභෝජනය ද පහත වැටී ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

"අල්ලාහ් දෙවියන් අපේ ආර්ථිකය සාර්ව මට්ටමකට ගෙන ආවා, අපේ සංඛ්‍යාලේඛන වර්ධනය වෙමින් පැවතුණා. නමුත් මෙම හදිසි යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසර දෙක තුළ අප දැරූ උත්සාහයන් නිෂ්ඵල වී තිබෙනවා," යැයි ෂරීෆ් පැවසුවා.

මෙම ආර්ථික පීඩනය මධ්‍යයේ වුවද, එක්සත් ජනපදය හා ඉරානය අතර පවතින නොසන්සුන්තාව සමනය කිරීමට උදව් කිරීමට පාකිස්ථානය කැපවී සිටින බව ෂරීෆ් ප්‍රකාශ කර තිබෙනවා.

අප්‍රේල් 11 වන දින ඉරාන සහ එක්සත් ජනපද නිලධාරීන් අතර පැය 21ක දීර්ඝ සාකච්ඡා සඳහා ඉස්ලාමාබාද් නුවර සත්කාරකත්වය ලබා දීම ඇතුළු එරට රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් පිළිබඳව ඔහු කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes