International02 May 2026

ජනපති ගැන හෙළිදරව්වක් කළ මාලදිවයිනේ මාධ්‍ය ආයතනයකට ප්‍රශ්න

මාලදිවයිනේ පුවත්පත් ආයතනයක් විසින් එරට ජනාධිපතිවරයා සමඟ ලිංගික සබඳතාවක් පැවැත්වූ බවට කාන්තාවක් චෝදනා කරන වීඩියෝවක් විකාශනය කිරීමෙන් පසු එරට පොලිසිය එම ආයතනය වටලා පරිගණක සිය භාරයට ගෙන එහි ප්‍රධාන කර්තෘවරුන්ට රටින් පිටවීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට ප්‍රමුඛ පෙළේ පුවත්පත් ආයතනයක් වන 'අදාදු' (Adhadhu) ආයතනය තුළ පැය හතරක කාලයක් සිදුකළ මෙම සෝදිසි කිරීම මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසුගේ රජය සහ මාධ්‍ය අතර ගැටුමක් ඇතිවීමට හේතු වී ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

අපරාධ අධිකරණයක් මගින් නිකුත් කරන ලද සෝදිසි වරෙන්තුවකට අනුව, අදාදු ආයතනයට සහ එහි කාර්ය මණ්ඩලයට එරෙහිව "කස්ෆ්" (qazf) යන චෝදනාව එල්ල වී තිබෙනවා.

මෙය එරට ඉස්ලාමීය නීති පද්ධතිය යටතේ මුස්ලිම්වරයෙකුට එරෙහිව කාමමිථ්‍යාචාරය පිළිබඳ අසත්‍ය චෝදනා නැගීම ලෙස අර්ථ දක්වා ඇති බරපතල වරදක්.

මෙම චෝදනාව එල්ල වී ඇත්තේ මාර්තු 29 වන දින ප්‍රකාශයට පත් කරන ලද "අයේෂා" නම් වීඩියෝවක් සම්බන්ධයෙන්.

එහි හිටපු කාර්ය මණ්ඩල සාමාජිකාවක විසින් තමන් පැවැත්වූ බව කියන සබඳතාව පිළිබඳ විස්තර ඉදිරිපත් කර තිබුණා.

මාලදිවයිනේ මෙම වරද සඳහා වසර හතරක උපරිම සිරදඬුවමක් නියම කළ හැකි අතර, කස පහර 80ක් දක්වා වූ ශාරීරික දඬුවම් ද ඊට ඇතුළත් විය හැකියි.

මෙම රාත්‍රී වැටලීමේදී නිලධාරීන් විසින් ලැප්ටොප් පරිගණක, පෙන් ඩ්‍රයිව් සහ අනෙකුත් වැදගත් පුවත්පත් උපකරණ රාජසන්තක කර තිබෙනවා.

පුවත්පත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හුසේන් ෆියාස් මූසා සහ එහි කර්තෘ හසන් මොහොමඩ් යන අයට පසුව විදේශ ගමන් තහනමක් පනවනු ලැබ තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Related recommendation
Hiru TV News | Programmes