General05 May 2026

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ජාතික රෝහලේ සහ කොළඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ විශේෂ නිරීක්ෂණයක

මෙරට තෙදින නිල සංචාරයක නිරත රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr. Mikhail Murashko) ඇතුළු නියෝජිත පිරිස ඊයේ (04) කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හමුවීමෙන් අනතුරුව රුසියානු නියෝජිත පිරිස මෙම නිරීක්ෂණයට එක් වුණා.

මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ මෙරට ප්‍රධාන සෞඛ්‍ය හා අධ්‍යාපන ආයතන නවීන තාක්ෂණයෙන් සවිබල ගැන්විය හැකි ආකාරය පිළිබඳව කරුණු සොයා බැලීම බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

එහිදී කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශයේ හදිසි ප්‍රතිකාර ඒකකය සහ හදිසි අනතුරු අංශය නිරීක්ෂණය කළ රුසියානු අමාත්‍යවරයා, දැනට භාවිත කරනු ලබන වෛද්‍ය උපකරණ සහ රෝගී ප්‍රතිකාර සේවා සිදුවන ආකාරය විමසා බැලුවා.

නිරීක්ෂණයෙන් අනතුරුව රෝහල් හා වෛද්‍ය පීඨ පාලන අධිකාරිය, විශේෂඥ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය සමඟ රුසියානු අමාත්‍යවරයා තාක්ෂණික කරුණු පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක නිරත වුණා.

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ඉතා විශිෂ්ට මෙන්ම කාර්යක්ෂම සේවාවක් බවත්, සෞඛ්‍ය වෘත්තිකයන් දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන බවත් ඔහු එහිදී අවධාරණය කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

දෙරට අතර දැනුම හුවමාරු කර ගැනීමටත්, අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කර ගැනීමටත් මෙවැනි සංචාරයන් බෙහෙවින් ඉවහල් වන බවද ඔහු පැවසු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එමෙන්ම, මෙම මිත්‍රත්වය සංකේතවත් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද මෙහිදී සිදු කෙරුණා.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක, වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක, ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ ඇතුළු රෝහල් සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගී වූණා.
Related recommendation
Hiru TV News | Programmes